07

269 45 4
                                    

"කවුද ගැහුවෙ කියපන්කො."

දොරට වාරුවී, සුරතින් ජංගම දුරකථනය කරකවමින් අයියා අසයි.

ඔහුගේ විමර්ශනාත්මක දෙනෙත් එක එල්ලේම යොමු වී ඇත්තේ කාමරයේ මෙහා කෙලවර ඇඳේ වැතිරීගෙන පොතක් කියවමින් සිටි මා දෙසටය.

"අයියෝ.. සැරේකුත් කිව්වෙ දැන්." මම කියවමින් සිටි පොතින් මුහුණ වසාගතිමි.

"ඉස්කෝලෙදි වැටුණා, ලොකු ගහක මුලකට පැටලිලා."

ඔහු උපහාසයෙන් සිනහසුණේය.

"පොඩී මේ, ඕක කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට."

මම ඊට කිසිවක් නොකීමි. කොර ගහමින් ගෙදර ආ මොහොතේ පටන්ම, මා කුමක් හෝ රණ්ඩුවකට මැදිවී ඇති යැයි යන සැකයෙන් අයියා පසුවිය. ඔහු මෙතරම් කලබල කරන්නේ සවස් යාමයේ මාලඹේ බලා යන්නට පෙර සිදුවී ඇති දෙය සැකහැර දැනගැනීමට බව මට තේරිණි . අයියා ගැන දන්නා නිසාවෙන්ම, ඔහුට බොරු කීමද අපහසු කාර්‍යයක් බව මම දනිමි.

"ඇයි ගැහුවෙ කියපන්කො. මම අම්මට කියන්නේ නෑ."

පොතින් වැසී ඇති නිසා ඔහුගේ මුහුණ මට නොපෙනුනත්, ඔහුගේ ස්වරයෙහි වූ අවංක බව මට තදින් දැනිණි. මීට පෙරාතුවද මා මගේ ප්‍රශ්න ගැන අයියා ට කියා ඇති අතර, අම්මා ට කියන්නේ නැතැයි ඔහු පොරොන්දු වුවහොත්, ඔහු ඒ කියන්නේ හදවතින්ම බවත් මම දැන සිටියෙමි. නමුත් මා වැසිකිළියක දොරක සිදුරකින් මගේ පන්තියේ කොල්ලෙකු ස්වයං වින්දනයේ යෙදෙන බැව් බලා සිටියා යැයි ඔහුට කියන්නේ කෙසේ ද? අනික මාගේ ජීවීතයේ මේ පැතිකඩ ගැන ඔහු දන්නේ නැත. ඔහු දැනගතහොත් සිදුවන ඉරණමද මට සිතාගත නොහැකි තරම්ය.

මම නොමනාපය පලකරමින් ඇඳෙහි අනෙක් ඇලයට හැරුණෙමි.

"ආහ්!" මම ශබ්දය පිට නොවන්නට තොල සපාගත්තත්, යටිකයෙන් ආ වේදනාවෙන් හඩක් පිටවූයේ නිතැතිණි.

"ඇති දැන් හොඳටම." යැයි පැවසූ අයියා, දොර අසලින් ඉවත්ව, ඇඳ පාමුලට විත් සිටගත්තේය.

"මට මාලඹේ යන්ඩ තියෙනව පැය දෙකකින්. උඹ මෙතන ඔහොම මූණ දෙක කරන් කෙදිරි ගගා ඉද්දි දාල යන්ඩ බෑනෙ. අම්මා එන්නෙත් රෑ බෝ වෙද්දි. හ්ම්ම්, කෝ පෙන්නනවා කොතනද රිදෙන්නෙ කියල."

මිරිඟු සිත්තම - Sinhala BLTempat cerita menjadi hidup. Temukan sekarang