09

266 45 2
                                    

එදින් සවස පාසල නිමාවූ පසු, මම සුපුරුදු පරිදි මිතුරන්ගෙන් වෙන්වී පන්තියෙන් පිටවුණෙමි. එදින තිවංක පාසල් පැමිණ සිටියේ නැත. ඉස්සර මෙන් ඔහු නා දාට යටි සිතින් දුක්වනු වෙනුවට, අද මා පසුවූයේ ඒ ගැන යම් සැනසීමකිනි. කියාගත නොහැකි කුමක්දෝ අමුතු හැඟීමකින් මගේ සිත පුබුදු වී ඇති බව මට පැහැදිලි ය. එයට මුල්වූ හේතුව සොයාගන්නට මට වැඩි වේලාවක් ගත නොවීය.

"හේයි!... මම මෙහෙ..."

පිට්ටනිය පසුවන මායිමේදී ඇසුණු හඬ දෙසට මම එකවර හිස හැරවීමි.

පාසලට මායිමේ වූ කුඩා ආපනශාලාව අසළ සිටගෙන මා වෙත අත වනමින් සිටියේ සංජුල ය. පාසල් බෑගය වම් උරහිසේ දරාගෙන, තවත් කුඩා බෑගයක් අතින් ගත් ඔහුගේ මුහුණේ වූයේ ලැජ්ජාබර සිනහවකි. ඔහුව පසුකරගෙන නොයෙක් වයස්වල ළමුන් පාසල නිමවී නිවෙස් බලා යති. ඇතමෙක් හැරී ආපනශාලාව තුළට වැදී මගේ දර්ශනපථයෙන් නොපෙනී යති.

"හෙලෝ!"

දහවල් ඉර එළියෙන් වූ අවහිරය මැඩගන්නට, සුරතින් මුහුණ ආවරණය කරගනිමින් මම එදෙසට පිය නැගීමි.

"මොකෝ මම බීම එකක් බොන්න එන්න කිව් එක අමතක වුණා ද?" ඔහු සුහදව අසයි.

"ංආ, නෑ!.." මම සෙමින් කීමි. "ඒක නිසාමයි මේ පැත්තෙ ගේට්ටුවෙන් ආවෙ. මම වෙනදට යන්නෙ අනෙක් පැත්තෙන්."

අප දෙදෙනාම සිනහසෙමින් ආපනශාලවට ගොඩ වීමු. පාසලට අනුබද්ධ නොවූ තැනක් වුවද, පාසල් වැටට මායිම්ව පිහිටි මේ කුඩා පෞද්ගලික ආපන ශාලාව, පාසලේම කොටසක් වැනි විය. කරුණාවන්ත, මැදිවියේ යුවළකට අයිති වූ මේ තැනට වැඩිහරියක්ම යන්නේ එන්නේ පාසලේම සිසුන් හා ගුරුවරුන් ය. අප එහි යන විටද එය සිසු සිසුවියන්ගෙන් පිරී තිබිණි. තැන් තැන්වල කල්ලී ගැසුණු කණ්ඩායම් සිනහසෙමින් කති බොති.

"මොනාද බොන්නෙ?"

අපහසුවෙන් මෙන් වටපිට බලමින් සංජුල ඇසීය.

"ම්ම්ම්...." මම තොල් උරුක් කරගතිමි.

"මම නම්... දිවුල් කිරි එකක් වගේ ගන්නව. සීතලයිනෙ." ඔහු කියයි.

"මට හොඳ රස්නෙ තේකක්." මම ඔහු දෙස හොරැහින් බැලීමි.

ඔහු ගැස්සී මදෙස බැලීය.

මිරිඟු සිත්තම - Sinhala BLDonde viven las historias. Descúbrelo ahora