21

192 38 4
                                    

පසුදින පාසලේදී ඉගැන්වූ කිසි දෙයක් මගේ සිතෙහි තැන්පත් වූයේ නැත. රුවන් අයියාගෙන් මම ලද අතවරය, මම මෙතෙක් නොදුටු යම් පැතිකඩක් දෙස මගේ දෑස් විවර කරන්නට සමත් විය.

ඊයේ දිනයේදී මා ලද අත්දැකීම මගේ සිත පෙළාදමන මුත්, ඒ ගැන කාට හෝ කියන්නට මගේ සිත මොරගානා නමුදු, පිරිමින් දෙදෙනෙකු අතර වූ ඒ සිදුවීම ගැන බහුතරයක් දෙනාගෙන නික්මෙනු ඇත්තේ පිළිකුලක් හෝ උපහාසයක් යන දෙකෙන් එකකි. ඒ ගැන වටහාගෙන, සවන් දෙන්නට සමත් එකෙක් සිටියි නම්, ඒ තවත් සමලිංගික අයෙකුම පමණකි.

සංජුල.

සංජුල, අප සිංහල ගුරුවරයා අතින් ශාරීරීකව හා මානසිකව අපහැරණයට ලක්වීම ගැන, සංවේදීව අසා සිටියා මිසක, ඒ ගැන ගැඹූරින් දැනෙන්නට තරම් අත්දැකීමක් මට එතෙක් ලැබි තිබුණේ නැත. පෙර දින මා හට දැනුනු බිය, අසරණකම හා තනිකම හමුවේ, සංජුල කෙරේ අලුත්ම අනුකම්පාවකින් මගේ සිත පිරී තිබිණි. නමුත් දනූෂි හා මා අතට ඇති සම්බන්ධය දැනගත් දා පටන්, ඔහු මා මඟහරියි.

"අරවින්ද..."

ගව් ගණනක දුරින් මෙන් මට ඇසෙන්නේ දුලංජනගේ හඬයි.

"ංආ?"

"මොකද බං, අද නිකන් දාහට අරන් සීයට දීල වගේ?" ඔහු මගේ මුහුණට එබෙයි.

"නෑ..." මම අපහසුවෙන් හරිබරි ගැසුණෙමි.

"හාකො, මේ එක නෙවේ." දුලංජන යළිත් එබුණේය. "මේ සතිඅන්තෙ අපේ චාරිකාවට එනව නේද?"

සිදුවූ සියල්ල අතරින්, මට චාරිකාව ගැන සහමුලින්ම අමතක වී තිබිණී. අම්මාගෙන් අවසර ලද පත්‍රිකාවද තවමත් මගේ බෑගයේ ය. හිතේ සාංකාව වළලාදමමින්, චාරිකාව ගැන උද්‍යෝගයකින් මගේ හිත පිරී යන්නට විය.

"ඔව්, ඔයාත් එනවනෙ?" මම දුලංජන දෙස බැලීමි.

" නැතුව නැතුව- ඉස්කෝලේ අන්තිම එකනෙ- මිස් කරගෙන කොහොමද? අනික ගෙදරින් පිට තැනක රැට නිදාගන්ඩ එහෙමත් ලැබෙන විරල අවස්ථාවක්නේ මේක!"

මගේ සගයාගේ දෑස් උද්‍යෝගයෙන් දිළිසෙයි.

"ඔව් ඔව්, ඔක්කොමල ඔය ප්‍රජා ශාලවක් වගේ එකක මෙට්ටයක් වත් නැතුව- බිම රෙදි එලාගෙන ගුලි වෙලා නිදාගද්දි- විරල අවස්ථාවක් තමයි ඉතින්. මට නම් ඊට වඩා සැපයි මගෙ ඇඳ."

මිරිඟු සිත්තම - Sinhala BLWhere stories live. Discover now