25

217 42 15
                                    

"දනූෂි... මං.. මම..." මම නැගී සිටියෙමි. "මම සිංදු කියන්ඩ යනව."

මගේ හදිසි වෙනස්වීමෙන් කලබල වූ දනූෂි ද, මා කියූ දෙයම ප්‍රතිරාවය කළාය. 

"... සිංදු කියන්න යනවා?"

"ඔව්...මේ..." එහා මෙහා වී තිබූ පාසල් කලිසම  සකසාගනිමින් මම තැතනුවෙමි

"මං... මේ සිංදුවට හරිම ආසයි."

දනූෂි ඊට යමක් කියන්නට පෙර, ඈ වෙතට යාන්ත්‍රික සිනහවක් පෑ මම, වේගයෙන් ඉදිරිපෙළ අසුන් කරා  ඇදී ගියේ, තිවංක ගේ දෑස් යළි ඇස නොගැටේවායි පතමිනි. 

බොංගෝ බෙරය තලනා අතරම, මගේ මුහුණ දුටු දුලංජනගේ මුහුණ පුර ඇදී ගියේ දීප්තිමත් සිනහවකි.

"අහා, මිත්‍රයා! එන්න එන්න!!"

ආයාසයෙන් සිනහවක් මවාගත් මම, ඔවුන් දැන් ගයමින් සිටි "උඩරට කඳුකර" ගීතය හා එක්වී, තාලයට අත්පුඩි තලන්නට වූයේ, සති පොළක සෙල්ලම් බඩු කඩවල විකිණීමට ඇති, තාලම්පට තලනා යාන්ත්‍රික වඳුරෙකු මෙනි.

අප්සරාගේ පහස විඳිනා අතර, මගේ දෙස එක එල්ලේ එල්ල වී තිබූ තිවංක ගේ තියුණූ දෙනෙත් මට යළි යළිත් මැවී පෙනෙන්නට විය. දනූෂි ගේ ස්පර්ශය හමුවේ නිදා සිටි මගේ සිරුර, ගිනි ජාලාවකින් රත් කරලන්නට තිවංක ගේ එක් බැල්මක් සමත් වීම මාවම පුදුමයට පත් කරන කරුණක් විය,

පසුපස අසුනේ කාටත් හොරා තිවංකගේ උණූහුම විඳින අප්සරා, කෙතරම් වාසනාවන්තියක් දැයි මට සිතිණී. තිවංක වෙතට නැඹූරු වීගෙන ඈ කරන්නේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණකි. නමුත් ඒ කුමක් වුවද, ඔහුගේ දෙනෙත් තිබුණේ රාගයෙන් හෝ ආශ්වාදයෙන් බරවී බව වටහාගන්නට මට අපහසු නොවීය.

මා ඔහුගේ රාගී දෙනෙත් හඳුනන්නේ කෙසේදැයි කියන්නට අටුවා ටීකා අවශ්‍ය නැත.

මම ඒ දෙනෙත කිහිපවරක්ම, ඉතා හොඳින්ම දැක ඇත්තෙමි.

"මොකෝ? ප්‍රියම්භිකාව එක්ක තරහ වුනාද?"

අනෙක් සිසුන්ගේ ගී හඬත්, බෙර හඬත් අතරින් දුලංජන මා වෙත නැඹුරු වී අසයි.

"මොකක්?"

"මොකක් නෙවෙයි- නැග්ග වෙලේ ඉඳන් අර දනූෂි එක්ක ගුළි වෙලා ඉඳල දැන් එක පාරට විදුලි සැර වැදිලා වගේ මෙහෙට දුවන් ආවෙ?"

මිරිඟු සිත්තම - Sinhala BLOpowieści tętniące życiem. Odkryj je teraz