...සසර පුරා...
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌼1 කොටස🌼
තම නිවස ඉදිරියෙන් නතර කෙරූ කැබ් රථයෙන් බැස ගත් යුවතිය දෙස කුසුම් බලාගෙන සිටියේ පුදුමයෙන් පිරි දෙනෙතිනි.ගමන් මල්ලත් තල්ලු කරගෙන ආ ඇය ගමන ඉක්මන් කළේ තමන් දෙසම බලාගෙන සිටින ඒ කාන්තාව දෙසින් මොහොතකටවත් නෙතු ඉවත් නොකරය.
"ලොකු අම්මේ..."
මඟක් දුර සිටම යුවතිය කෑ ගැසුවේ සුන්දර සිනහවක්ද සමඟිනි.
"අනේ...මගෙ පොඩි කෙල්ලව දැක්ක කල්"
කුසුම් ඉදිරියට ගොස් යුවතියව කිටි කිටියේ බදා ගත්තේ ඇය කෙරෙහි වූ ආදරය උතුරා යද්දීය.ඇය නමින් නේශා රත්නායක ය.කුසුම්ගේ නැගණියගේ බාල දියණියයි.දරුවෙකු තම කුසින් වදා සුරතල් බැලීමට කෙදිනකවත් වාසනාවක් නොලද කුසුම්ට නේශා යනු ඇය බිහි නොකළ ඇගේ දරුවාය.ඒ තරමටම කුසුම් ඇයට ආදරය කරයි.
"මගෙ කෙල්ල ඇදිලා ගිහින්"
නේශාගේ වත පුරා නෙත් යැවූ කුසුම් පවසද්දී නේශාගේ මුහුණේ ඇඳුනේ නොපහන් බැල්මකි.නමුත් ඊළඟ නිමේශයේ ඇය කුසුම්ගේ කර වටා අතක් දමා ඇයට ළං වූයේ දඟකාර සිනහවක්ද සමඟිනි.
"ඇදිලා ඇදිලා මෙහෙට තමා ආවෙ ඉතින්...මගෙ සුදු අම්මගෙ මූණ දකින්නෙ නැතිව පාලුවෙන් උන්නේ"
ඇය හුරතල් පාටට කියන්නේ කුසුම්වද සිනහ ගස්සවමිනි.
"ඔව්..ඔව්..ඒකනේ මාව බලන්න අලුත් අවුරුද්දෙන් පස්සෙ ආවෙම නැත්තේ. අන්තිමට බලන්න ඇවිත් දැන් මාස පහකටත් කිට්ටුයි"
ඉතින් කුසුම් මැසිවිලි නඟන්නේ නේශාව එතරම් කාලයක් නොදැකීමෙන් හිතේ ඇති වූ වේදනාව මඳකට දිග හරිමිනි.හිතට දැනුණු වරදකාරී හැඟීම සඟවාගෙන නේශා කුසුම් දෙස බැලුවේ හිතාමතාම අහිංසක සිනහවක් දත් විලිස්සමින් පෙන්වමිනි.
"සොරි ඉතින්..."
"කමක් නෑ කමක් නෑ.මෙහෙම හරි මතක් උනානේ.දැන් කියන්නකෝ මොකෝ මේ එක පාරටම ගේ දාලා යන්න වගේ ලොකු ගමන් මල්ලක් අරන් ආවේ කියලා.වෙනදා එන විදියට නෙමේ අද ආවේ...වෙනදා නම් ඔයා ඔහෙන් එද්දි අම්මා කෝල් කරනවා.අද එහෙමත් නෑ.මොකද පොඩ්ඩි උනේ? අම්මා එක්ක රණ්ඩු උනාද?"