...සසර පුරා...
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌼30 කොටස🌼
සශීර සිටියේ ආසනය පසුපසට කර හාන්සි වී දෙනෙත් වසාගෙනය.ඔහුගේ සවනත වූයේ ඔහුගේ ජංගම දුරකථනයයි.පස් වන වතාවටත් එයින් නිකුත් වූයේ ග්‍රාහකයා ප්‍රතිචාර නොදක්වන බවට වූ ස්වයංක්‍රීය හඬ පටයයි.නොරිස්සුමෙන් දුරකථනය ඩෑශ් බෝඩය මතට දැමූ සශීර නැවත දෙනෙත් වසාගත්තේ නළලත ඇඟිලි තුඩඟින් තෙරපවාගෙනය.විශාන් නිහඬවම රිය ගෙන ගියා මිසක් කිසිවක් නොපැවසුවේය.සිදු වූ සියල්ලක්ම විශාන් දැනගත්තේ සශීරගෙනි.ඒ මොහොතේ පටන් මේ වනතුරු ඔහු සිටින්නේ නොසතුටින් බව ඔහු දනී.පෙර දා රැයේ සිටම ඔහු නේශාට ඇමතුම් සහ කෙටි පණිවිඩ යොමු කරන්නේ ඇගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් වුවද ඒ සියල්ලක්ම සුනු විසුණු කරමින් ඇය නිහඬය.අවසන ඔහු නිවසේ ස්ථාවර දුරකථනයට ඇමතුම් ගෙන නේශාගේ සුව දුක් විමසුවේ ඇය හොඳින් බව නොදැන රත්නපුරයට යා නොහැකි නිසාය.
"නේශා දුකෙන් ඇත්තේ පොඩි අයියේ...ටිකක් ඉවසීමෙන් ඉඳපන්"
විශාන් පැවසුවේ සශීර නැවත සිය ජංගම දුරකථනය අතට ගද්දීය.පෙර දිනයේදී ඇයට නොපවසාම නිවසින් පිටත් වී කළේ නරකක් බව ඔහුට සිතුණි.නමුත් ඒ සියල්ල සිදු වූයේ ඒ අවස්ථාවේ සිත රිදුනු නිසා මිසක නේශා සමඟ වූ කේන්තියකට නොවේ.ජයේන්ද්‍ර පවා පැවසුවේ ඇයට කළ වරද වැටහෙන්නට කාලය දිය යුතු බවය.ඔහුගේ තීරණ වලට පිටින් යාමට සශීරට නොහැකිය.පැය කිහිපයක ගමනකින් පසුව ඔවුන් රත්නපුරයේ නිවසට ළඟා වූවේය.සශීර රියෙන් බැසගත්තේ කල්පනාබරිත වතිනි.
"ඔහොම මූණ එල්ලන් ඉද්දි පුංචම්මට සැක හිතෙයි.."
විශාන් අඩු හඬින් පැවසුවේ නිවසට ඇතුල් වීමට පෙරය.
"එයා ඒවා හෙට අනිද්දම දැනගනීවි"
සශීර පැවසුවේ කුසුම්ව සිහි වීමෙනි.දැනටමත් සිදු වී ඇති කාරණා සියල්ලම ඇය දන්නවා විය යුතුය.
"පොඩි අයියේ..මට මේක කියපන්..උඹට නේශාව සැකද?"
විශාන් ඇසුවේ සශීරගේ මලානික වත දෙස බලාගෙනමය.සශීර සුසුමක් සැලුවේය.