...සසර පුරා...
කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️
🌼11 කොටස🌼
නේශාගෙ උරපතු වලින් අල්ලා සිටි සශීරගේ බැල්මට නේශා සිටියේ ගල් ගැසුනාක් මෙනි.
"තමුසෙ ඔච්චරටම මෝඩද නේශා?එක පාරක් කරදර කරන්න ආව මිනිහෙක්ව ආයෙ ගෙට ගන්න තමුසෙට පිස්සුද?"
සශීරට එතරම් කේන්ති ගැනීමට තරම් කෙරූ වරද කුමක්දැයි ඇයට නොවැටහුණි.
"මං එයාව ගෙන්න ගත්තේ නෑ"
ඇය සිය නිර්දෝශීභාවය වෙනුවෙන් වදන් ඇමිණුවද එය පිළිගත්බවක් ඒ උවනෙහි නොවීය.
"අනේ මේ...තවත් බොරු කියන්න එපා.ගෙදර තනියම නම් ඉන්නේ ගෙවල් දොරවල් වහගෙන ඉන්න ඕනේ කියලා දැනීමක් නැද්ද?හෙන්රි අන්කල් එනකන් ඕනෙ නම් උපරිම පැයක් දෙකක් තනියම ඉන්න වේවි..එතකන්වත් පරිස්සම් වෙන්න බැරි උනාද?තමුසෙගෙ කට තිබ්බට මොළේ කලදක් නෑ.ඒ මිනිහව බේර ගන්න ඕන නිසානෙ උගෙන් ඒ වගේ කරදරයක් වෙන්න ගියෙ නෑ කියලා කිව්වේ"
පිළිතුරක් ලබා දීමට ඉඩක් නොතබාම ඔහු දිස් තබන්නේ සම්පූර්ණයෙන්ම වැරදිකරු ඇය බව අඟවමිනි.එනිසාම ඉවසුම් රහිත වූ ඇය වැරෙන් ඔහුගේ දෑත් සිය උරපතු වලින් ඉවත් කරගත්තේ ඔහු දෙසට කෝපාන්විත බැල්මක් පා කරමිනි.
"පොඩි අයියේ...ඔයා හිතන විදියෙ වැරැද්දක් එයා මට කළේ නෑ..ඔයා හිතන්නෙ මං එහෙම වෙනකන් ඉඳී කියලද ආ?අනික මම දොර ලොක් නොකර වහලා තිබ්බේ ලොකු තාත්තා කොයි වෙලාවේ හරි ඒවි කියලා මිසක් එක එක්කේනාව ගෙට ගන්න උවමනාවට නෙමේ.මට ඔය විදියට කතා කරන්න එපා..."
"නැත්තම් කොහොමද කතා කරන්න කියන්නෙ?"
සශීරගේ පාලනයක් නැති කේන්තිය හමුවේ එවර ඉවසුම් නැති වූයේ තාරකටය.
"සශියා..බොරුවට කේන්ති ගන්න එපා බං..දැන් ඇති..."
"මේ තාරක...මට මෙයාලගෙ පුද්ගලික දේවල් වලින් වැඩක් නෑ..ඒත්...මෙන්න මේ මෝඩ ගහට තේරුම් කරලා දීපන් කට විතරක් කෙල්ලෙක්ට මදි කියලා...කියවිල්ලෙන් නම් ගමකට උනත් ගහයි...ඒ උනාට..."