පහළොස් වෙනි කොටස

108 16 7
                                    

" නිකිල් ඔයාට පුලුවන්ද බබාව පොඩ්ඩක් බලාගන්න... මට අපේ මල්ලි එක්ක ටිකක් කතා කරන්න ඕනි... "

බබාගේ කාමරේ දොර ළගින් අක්කගේ කටහඩ ඇහෙද්දි මං ඉක්මනට නිකිල්ගෙන් ඈත් වුනා... දෙවියනේ අක්කා මොනවාහරි දැක්කාවත්ද ? නෑ නෑ සද්දේ ඇහෙනකොටම මං ඈත් වුනානේ... ඒත් එකපාරටම මාත් එක්ක තනියම කතා කරන්න ඕනි වුනේ ඇයි ?

හිත ඇතුලේ නිමක් නැති ප්‍රශ්න දහසක් පොරකමින් තියෙද්දී මං මුකුත් නොවුන ගානට අක්කා පස්සෙන් ඇවිදන් ගියා.. අක්කලගෙ ගෙදර තිබුණේ තරමක ලොකූ මිදුලක්.. ලස්සනට තණකොල වවලා තිබුණු මිදුල දිගේ ඇවිදන් ගිහින් කොල පාට, දම් පාට මැංගුස් ගෙඩි පිරුණු ලොකු මැංගුස් ගහ ළඟ තිබුණු බංකුවේ අක්කා වාඩි වුනේ මටත් එතනින් වාඩි වෙන්න කියලා ඇස් වලින් ඉඟි කරමින්...

මිදුලේ ගල් බංකුවේ වාඩි වුනාම කෙලින්ම පේන්නේ ඇතුගල කන්ද.. මහා තේජසින් වැඩ හිදින බුදු හාමුදුරුවන්ගේ ශ්වේත රූපය.. කන්ද උඩින් අහසේ එහා මෙහා යන වලාකුළු, ගස් එක්ක පැටලිලා හමාගෙන එන සුළං රැල්, ඈතින් පේන බුදු රූපය මොහොතකට මගේ හිත සන්සුන් කලා.. ඈත අහස දිහා බලාගෙනම මං නිහඬ වුනේ ඒ හින්දා වෙන්නැති...

" මට කියන්න මුකුත් නැද්ද මල්ලි..."

" අක්කා.... "

" කියන්න... මෙච්චර කාලේකට ඔයා මගෙන් දේවල් හංඟලා නෑනේ... බැඳලා ගියාට පස්සෙ මල්ලිට මාව පිට කෙනෙක් වගේ දැනෙනවද ? "
"අනේ අක්කා එහෙම නෑ හලෝ... ඇත්තටම මට ඔයා මොකක් ගැනද අහන්නේ කියලා තේරේන්නේ නෑ... "

" මං අහන්නේ ඔයයි නිකිලුයි ගැන... "

" අ.... අක්කා මේ මං.... "

අක්කගේ ඇස් වල බැල්ම කෙලින්ම මගේ දිහාවට වැටිලා තිබුනා.. කෙනෙක් තමන් හංඟපු දෙයක් දැනගත්තම මූණ දෙන්න අමාරුයි... අක්කගේ ඇස් මඟ හැරලා මං ඉස්සරහ බැලුවා... ඈතින් පේන්නේ බුදු රූපේ... කොහොමද මං ඒ දිහා බලාගෙන බොරු කියන්නේ... ඇත්තටම මට එහෙම බොරු කියන්නත් බෑ.. මං කියන්නේ මං බොරු කියන්නේ නැති උපාසකයෙක් කියලා නෙවෙයි.. හැබැයි මට එකපාරටම බොරු කියන්න බෑ.. හොඳට ලෑස්ති වෙලා, පුරුදු වෙලා තමා බොරු කියන්න පුලුවන්... ඇත්ත කියන්නත් බැරි, බොරු කියන්නත් බැරි, කොටින්ම එක වචනයක් කියන්න කට අරින්නත් බැරි මොහොතක මගේ ලෝකේ තත්පර ගානකට නතර වුනා කිව්වොත් හරි... මං දැනන් හිටියා කවදාහරි මේ වගේ දවසක් එයි කියලා... ඒත් මේ තරම් ඉක්මනට ඒකට මුහුණ දෙන්න මං සූදානම් වෙලා හිටියේ නෑ...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ