Chapter 12 ( In magical era )

239 73 27
                                    

ජන්කුක්ගේ මේසය මත තිබූ රන් පැහැයෙන් කැටයම් කළ දැව මංජුසාව පිරී තිබුණේ වර්ණවත් සේද ලණුවලින් ගැටගැසූ විවිධ වර්ණයන්ගෙන් යුත් හසුන්පත් වලින්. ජන්කුක් එක් හසුන්පතකදු විවර නොකර ඒ දෙස එක එල්ලේ බලා සිටියේ ඒ වන විටත් කට පාඩම් වන තුරුම එහි වූ පද්‍යයන් තමා කියවා තිබූ නිසාවෙන්.

මතකාවර්ජනාවන් අතර අතරමංව තිබූ ජන්කුක්ගේ හිත එක් වරම දැහැනෙන් මුදවාලමින් කුටියේ ද්වාරය හීයක වේගයෙන් විවර වෙද්දි ජන්කුක්ගේ සුරත අසල තිබූ අසිපත වෙත යොමු වුනේ නිරායාසයෙන්.

" ජන්කුක් "

තමා ඉදිරියේ තනි කළු ඇඳුමෙන් සැරසී දෑස පමණක් පෙනෙන සේ මුහුණ ද ආවරණය කර සිටින පුද්ගලයා දෙස ජන්කුක් බලා සිටියේ විශ්මයෙන් විසල් වූ දෑස් වලින්. ඒ ගැඹුරු නොසන්සුන් කටහඬ , දිදුලන දුඹුරු දෙනෙත් , හමා ආ අයරිෂ් මල් සුවඳ .... ජන්කුක්ට ඒ පුද්ගලයා හඳුනාගැනීම දුෂ්කර කාර්‍යයක් වුණේ නැහැ.

" කුමරුනි... "

ටේහියුන්ග් කුමරු නොසන්සුන්ව දිව විත් ජන්කුක් ඉදිරිපිට අසුනෙන් අසුන් ගනිද්දි ජන්කුක් ඉක්මනින් මේසය මත තිබූ මංජුසාව පසෙකින් තබා තමන්ගේ අසුනින් අසුන් ගත්තා.

" කුමරුනි මේ රාත්‍රියේ ඔබතුමා කිමෙක්ද මෙහි කරන්නේ? නැවත මාලිගයෙන් රහසේ පැන ආවද? "

" ජන්කුක් "

මුහුණු ආවරණය ඉවත් කරමින් තමන්ගේ කිසිදු පැනයකට පිළිතුරු නොදීම නැවත තමන් අමතන ටේහියුන්ග් කුමරුගේ නොසන්සුන් දෑස් දෙස ජන්කුක් අවධානයෙන් බලා සිටියා.

" කුමරුනි "

" අපි යමු "

" කුමරුනි ? "

" මා රැගෙන පලා යන්න ජන්කුක්. අනේ.... කරුණාකරලා.... මා වෙනුවෙන්.... "

ජන්කුක් කුමරුගේ ඉල්ලීම පිළිබඳ තවදුරටත් විශ්මයට පත් නොවූ නමුදු එවැන්නකට එකඟ වීමට තරම් හැකියාවක් ජන්කුක්ට තිබුණේ නැහැ.

" නමුත් කුමරුනි..... මා කෙසේද එවැන්නක් කරන්නේ...? හෙට ඔබතුමාගේ සරණ මංගල්‍යය. "

" ඔබත් එයට සරණ මංගල්‍යය යැයි පවසන්නේද? මුළු මහත් ලෝකයටම මා සොන්ගෝ දේශයේ නව රාජකීය සැමියා. නමුත් මෙහි රාජකීයයන්ට මා රාජ්‍යත්වය තහවුරු කිරීමට හුවමාරු කරගන්නා භාණ්ඩයක්. සොන්ගෝ රාජකීයයන්ට මා සොන්ගෝ දේශයේ කුමාරවරු පස් දෙනෙක් හා එකවර සරණ යන රාජකීය ගණිකාවක්. මුළු මහත් රාජ්‍යයන් දෙකටම මා සරදමක් පමණයි ජන්කුක්. මට ඇති වටිනාකම එයද? මගේ වටිනාකම එයද ජන්කුක්.... පිළිතුරු දෙන්න මට.... "

My Serein ( Completed )Where stories live. Discover now