Chapter 14 ( In magical era )

269 78 26
                                    

නිරුවත් උඩු කය රැඳුනු කස පහරවල් නිසාවෙන් වූ නැවුම් කැපුම් පහරවලින් ගැලූ රුධිරය බිඳෙන් බිඳ ඒ වන විටත් ශෛලමය පොළොව මතට පතිත වෙමින් තිබුණා. භූගත සිර මැදිරියේ ශෛලමය බිත්තිවලින් පහළට ගලා යන දිය සීරාවල හඬ සිර මැදිරිය තුළ පිරී තිබූ මූසල බව තවත් ඔප මට්ටම් කිරීමට තරම් සමත් වුණා. ගිම්හානයේ වුවද සීතලෙන් ගල් ගැහෙන භූගත සිර මැදිරිය තුළ සරත් සමයේ ගෙනෙන සීතල හා සටන් කිරීමට තරම් හැකියාවක් දැල්වෙන පන්දම්වලට තිබුණේ නැහැ. සීතල නිසාවෙන් පුළුල් පපුව මත පිපුණු හිරිගඩු මත වේදනාව නිසාවෙන් මතු වුණු දා බිඳු පන්දම් එළියෙන් දිලිසෙද්දී ඔහුගේ ශරීරයේ වෙව්ලුම නිසාවෙන් දෑත් දෙපා යදම් ලූ දම්වැල් එකට ගැටෙන සිහින් හඬ මැදිරිය පුරා පැතිරුණද එය සීතල නිසාවෙන් ඇති වූ වෙව්ලුමක්ද නැතහොත් වේදනාව නිසාවෙන් ඇති වූ වෙව්ලුමක්ද යන්න නිශ්චිත වුණේ නැහැ. ශාරීරික වේදනාව නිසාවෙන් තදින් පියවුණු දෑස් විවර කර බැලීමට තරම් බලාපොරොත්තුවක් ඔහුගේ හද තුළ නොවන තරමටම ඔහුගේ මානසික වේදනාව බලවත් වුණා. මැදිරිය තුළින් ගලා එන පුළුටු පුස් ගන්ධය වළක්වා ගැනීමට නාසය හැකිලීමට තරම් ඔහු උත්සුක නොවූයේ ඔහුගේ ජීවිතය ඒ අමිහිරි ගන්ධයටත් වඩා අපුල වූ බැවින්.

පිටතින් යම් කිසි ඝෝෂාවක් ඇසුණද ඔහුට ඒ සඳහා මනස යොමු කිරීමට නොහැකි වූයේ ඒ වන විට ඔහුගේ මනසට යොදා තිබූ මායා බන්ධනය නිරන්තරයෙන් ඔහුගේ මනස ව්‍යාකූල කරමින් ඔහුගේ චිත්ත ඒකාග්‍රතාව බිඳ හෙලන කරන නිසාවෙන්. ඔහු දැනටමත් ශාරීරිකවත් මානසිකවත් ඔවුන්ගේ සිරකරුවෙකුව අවසන් වග ඔහුට වැටහී තිබුණා. 

ඒ සමඟම ඔහුට ඔහුගේ බඳ වටා දිව යන උණුසුම් සළුවකට මැදි වූ සීතල ඇඟිලි තුඩුවල පහසත් , තම පුළුල් පපුව මතට බර වූ හිසත් , පපුව මත උණුසුම්ව ගැටෙන වේගවත් සුසුම්වල රිද්මයත් හොඳින්ම සන්වේදනය වුණා. සියල්ලටම වඩා ඒ ස්පර්ශයත් සමඟ හමා ආ අයරිෂ් මල් සුවඳ මෙතෙක් වේලා අඩපණව තිබූ හදවතේ ගැස්ම වේගවත් කරනු ඔහුට දැනුනා. ඒ ස්පර්ශයේ අයිතිකාරයා තම දෑත් අතර රඳවා ගැනීමට ඔහුට දැඩි ලෙස අවශ්‍ය වුවත් ඔහුගේ දෑත් බැඳි යදම් ඔහුගේ ඒ ආශාවට හරස් වුණා. මද වේලාවක් යන තුරු දෙදෙනා අතර එක් වචනයකුඳු හුවමාරු නොවන තරමට ඒ හැඟීම් ප්‍රබල වුණා. අවසානයේ ඔහුගේ පපුව මතින් තම හිස ඉවත් කර ගත් ඒ ස්පශයේ අයිතිකාරයාගේ සීතල ඇඟිලි තුඩු අතරට ඔහුගේ කම්මුල් සිර වුණා.

My Serein ( Completed )Where stories live. Discover now