තම සටන් නර්ථන කණ්ඩායම සමඟ ප්‍රේමවන්තයාගේ සරණ මංගල්‍ය වෙනුවෙන් පිරිස ඉදිරියේ තම හැකියා දක්වන ජන්කුක්ගේ මුහුණෙහි සටහන් වූයේ වේදනාව පමණයි.
රක්ත හා රත්‍රන් පැහැයෙන් කැටයම් වූ ස්වේත වර්ණ වස්ත්‍රයන් ටේහියුන්ග් කුමරුට රැගෙන විත් තිබුණේ දිව්‍යමය සුන්දරත්වයක්. වෙනදාට අකීකරු ලෙස සුළඟේ දඟකරන කෙහෙරැලි හිස මුදුනත රැඳි රත්‍රන් පළඳනාවෙන් තදින් ගැටගසා තිබුණේ අඩ සඳක් වන් වූ පුළුල් නළලත සූර්‍යයාලෝකයට නිරාවරණය කරමින්. දෙසවන් පෙති අගින් එල්ලෙන රත්‍රන් කර්ණාබරණයන්ගේ දිලිසුම මොහොතකට දෑස් නිලංකාර කරන්නට තරම් සමත් වුණා.රක්ත වර්ණාලේපිත ලා දෙතොල්පෙති කුමරුගේ දඟකාර , සුරතල් පෙනුම ආවරණය කරමින් ශුංගාරාත්මක සුන්දරත්වයක් වැළැඳගෙන තිබුණා.
නමුත් ටේහියුන්ග් කුමරුගේ මුහුණෙහි කිසිදු හැඟීමක සේයාවක් සටහන්ව තිබුණේ නැහැ. රත් පැහැ ගැන්වුනු දෑස් හා විඩාබර දෙකොපුල් කඳුළු පිරි රාත්‍රියක සලකුණු පෙන්වුවද , හිරු එළියෙනුදු නොදිදුලන මැලවුණු රක්ත වර්ණ දෙතොල් වේදනාබර මතක සලකුණු කළද කුමරුගේ දෑස්වල එකදු හැඟීමක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්‍යයක් වුණා.
දඟකාර සිනහව , දිදුලන දෙනෙත් , පිරුණු කම්මුල් , රෝස පෙති වන් ලා දෙතොල් වෙනුවට වේදනාවක්වත් නොවූ හැඟීම් රහිත ඒ දෑස් ජන්කුක්ගේ මුළු ශරීරයම වේදනාවෙන් දවා අළු කිරීමට තරම් වුණා.වෙනදාට කිසිම හැඟීමක් නැති තම මුහුණ දෙස ප්‍රේමය ගලන දෑසින් බලා සිටින කුමරුගේ වේදනාව කොපමණක් වන්නට ඇත්දැයි ජන්කුක් මොහොතකට අනුමාන කරද්දී ජන්කුක්ටත් නොදැනිම ඒ කම්මුල් උණුසුම් කඳුළු බිංදුවකින් වැළඳගෙන තිබුණා.
.......................................................................................................
" කුමරුනි , කවුළුව විවෘත කරන්න "
ටේහියුන්ග් කුමරු සොන්ග් රාජ්‍ය වෙත පිටත් වන දෝලා කවුළුව අසලින් යමෙකුගේ මිමිණුම් ස්වරයක් ඇසුනද කුමරුට කවුළුව විවෘත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වුණේ නැහැ.
" කුමක්ද ? "
කුමරු එම මිමිණුම් ස්වරයට සීතල ස්වරයකින් ප්‍රතිචාර දක්වනු ලැබුවේ තවදුරටත් කිසිවක් ඇසීමට හෝ කිසිවෙක් දැකීමට දැනටමත් වේදනාවෙන් වෙහෙසට පත් වූ කුමරුට අවශ්‍ය නොවූ නිසාවෙන්.
VOUS LISEZ
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?