" ඔබ හොඳින් ද ඇස්ට්‍රියා ?" එලේනා ඇසුවේ අමුත්තන් වදනක් හෝ විමසන්නට පෙරයි.

" ම.. මම.. හොඳින් අත්තම්මා" ඇස්ට්‍රියා සන්සුන්වන්නට උත්සහ දරන බව එලේනාට වැටහුණා.

" ඇස්ට්‍රියා කුමරිය , බානබස් හි සිට රාජ්‍ය තොරතුරු ඔබට වාර්තා කරන අටියෙන් අප මෙහි පැමිණියේ. නමුත් අප මෙහිදී ලද ආරංචි බානබස් රාජ්‍යයට එතරම් හිතකර නොවේ." බානබස් හි කැපකරු පාලනය බාර දුන් ලියෝපෝල්ඩ් පවසා සිටියා. ඔහු සමග තවත් ඇමතිවරුන් දෙදෙනෙක් පැමිණ සිටියත්, ඇස්ට්‍රියා සැබැවින්ම විස්මයට පත්ව සිටියේ ඇතෙල්ස්ටන් රාජු සහ ෆියෝනා රැජිණ ද පැමිණ සිටීමයි.

" රාජ්‍ය කටයුතු හොඳින් සිදු වෙනවාද ලියෝපෝල්ඩ් , කොලින් ඒ ගැන අධීක්ෂණය කරනවා නොවේද? පහර දුන් සතුරන් ගැන හෝඩුවාවක් හෝ නැතිද?" ඇස්ට්‍රියා රාජකීය ලීලාවෙන් විමසා සිටියේ ලියෝපෝල්ඩ් මීළඟට අසන්නට යන පැනය ගැන නොසලකා හරිමින් .

" සතුරන් වරින් වර අපගේ ආහාර සංචිත, මායා ඖෂධ සංචිත මංකොල්ල කනවා කුමරියනි. නමුත් අපගේ සෙබළුන් ඔවුන්ගේ උපරිම උත්සහය ගන්නවා උන් මර්දනයට."

" ඉක්මනින් සියල්ල විසඳේවි."

" කුමරියනි, ඔබ සුවෙන් නම් , ඔබට නොහැකිද යළි බානබස් වෙත පැමිණෙන්න?"

" මා..." ඇයට ඉතිරිය සම්පූර්ණ කරන්නට ඉඩ නොතබාම ඇතෙල්ස්ටන් රජු සිය බැරෑරුම් හඬ අවදි කළා.

" ඇය වසරක කාලයක් සඳහා ඔබට රාජ්‍ය පැවරුවේ මේ මොහොතේ යළි බානබස් කරා එන්නට නොවේ ලියෝපෝල්ඩ් , සත්ලොවම මේ වෙද්දී මහා ව්‍යසනයක් අභියස, ඔබේ රාජ්‍ය පමණක් නොවේ. සත්ලොවම එක්ව සතුරන් පරාජය කරන බව අපට සහතිකයි. එතෙක් ඇය මෙහි රැඳී සිටිනු ඇති. ඔබට අවශ්‍ය යුධ බලය නම් මා බලඇණි කිහිපයක් අනුයුක්ත කරන්නම් බානබස් හි සේවයට"

රජුගේ හඬ හමුවේ ලියෝපෝල්ඩ් නිහඬවුණා. ඇතෙල්ස්ටන් රජු මේ හඬ නගන්නේ තමන් වෙනුවෙන් ද, නැතිනම් ඩ්‍රයිඩන් වෙනුවෙන් ද, එසේත් නැති නම් ඔහුගේ සක්‍රීය වූ මායාවන් වෙනුවෙන් ද යන්න ඇස්ට්‍රියා කල්පනා කළා. නමුත් මේ මොහොතේ ඔහු තමන්ට සවියක් වීම පිළිබඳව ඇය බොහෝ කෘතඥ වුණා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Where stories live. Discover now