" ඔබ දෙදෙනාට ස්තූති කරන්නේ කෙසේ දැයි මට සිතාගන්නත් බැහැ. " යළි මාළිගය බලා යන ගමනේදී ඇස්ට්‍රියා කියා සිටියේ මිතුරියන් දෙදෙනාගේ දෑත් අල්ලාගනිමින්.
" ඔබ සතුටින් නම් එය අපට සතුටක් ඇස්ට්‍රියා " සෙලීන් කීවේ සිනහවකින් මුව සරසාගන්නා අතරේ.
" යළි හමුවන දිනක් හෝ නොදන්නා ඔහුටත් මටත් , හිත පිරෙන්න මතක එක් කරගන්නට අවස්තාව දුන්නාට ස්තූතියි "
" මා විශ්වාස කරනවා ඔබ දෙදෙනා කෙසේ හෝ සබඳතා පවත්වා ගනීවියි කියා" අවුරෝරා කියද්දී ඇස්ට්‍රියා ගේ සිනහවේ දීප්තිය මදක් අඩුවුණා.
" අප ඒ ගැන කතා කළා අවුරෝරා. නමුත් එය අහුඹු ලෙස සිදුවන තෙක් අපට බලා සිටීම හැර වෙන කරන්නට කිසිවක් නැහැ. අනවශ්‍ය අවධානමක් ලබා ගැනීම නුසුදුසු බවයි ඔහු පවසන්නෙත්" ඇය එසේ කියද්දී ඔහුගේ තීරණය නුවණට හුරු බවයි මිතුරියන් දෙදෙනත් පිළිගත්තේ.
.
.
.
.
එදින රාත්‍රියේ භෝජන සංග්‍රහය මනරම් සාදයක් වුණා. සත් ලොවම රාජකීයයන් එයට ආරාධනා ලැබ සිටියත් ෆ්රෙයිජාවේ කුමරු එයට සහභාගි වුණේ නැහැ. ඩාරාවේ ඇති විශාලතම උත්සව ශාලාවේ පැවති සාදය විවිධ ආහාර පානත්, සංගීත වාදනත්, ගිණිකෙළි සංදර්ශන වලිනුත් යුක්ත වුණා.රක්ත වර්ණ රාජකීය ගවුමක් හැඳ, ඊට ගැලපෙන හිස පළඳනාවකින් හැඩ වූ ඇස්ට්‍රියා ශාලාවට ඇතුළු වුණේ කොලින් සමග.
" ඔබේ පෙනුමේ කිසිඳු වෙනසක් මට නම් පෙනෙන්නේ නැතැ ඇස්ට්‍රියා , ඔබ සැබැවින්ම අලංකරණ ශිල්පීන් හමුවූවා ද?" කොලින් දිගින් දිගටම අසන්නට වීම ඇයට බාධාවක් වුණා.
" ඔබට මාගේ කිසිඳු සුන්දරත්වයක් මෙතෙක් නොපෙනුනානම් අද පමණක් එය ඔබට නොපෙනේවි කොලින්" ඇස්ට්‍රියා මදක් කෝපයෙන් කියා සිටියා.
" කෝපවන්නට තරම් දෙයක් මා පැවසුවේ නැත ඇස්ට්‍රියා , ඔබට අන් සියල්ලන් සමගම සිනහසෙන්නට කතා කරන්නට හැකියි. මෙහි පැමිණි දා සිට ඔබේ ඥාති සහෝදරයා විෂක් ලෙස පෙනෙන හැඩයි. ඔබ ඇයි ඔතරම් මගෙන් දුරස් වන්නට උත්සහ කරන්නේ?" කොලින් ඇසුවේ කෝපයෙන්.
" කොලින්, කරුණාකර අද රාත්‍රියේවත් මගෙන් මිදී අනෙක් කුමාරයන් සමග සතුටු වන්න. අප යළි බානබස් කරා ගිය පසු ඔබට යළිත් මා පාලනය කරමින් සිටීමට අවස්තාව ලැබෙනවා නොවේද?" ඇස්ට්‍රියා එසේ කියද්දි පළතුරු යුෂ බඳුනක් අත දරාගෙන ඩ්‍රයිඩන් ඔවුන් දෙදෙනා දෙසට පැමිණෙන බව දුටුවා. හද ගැස්ම අණ කිරීමෙන් තොරවම වේගවත් වන බව ඇයට දැනුනා.
ESTÁS LEYENDO
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasíaදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡