ඒ හඬ ඇසුණ වහාම ඇස්ට්‍රියා එතැනම ගල් වුණා. තමන් සිටින ස්වභාවය කිසිලෙසකින්වත් ඔහු නොදැකිය යුතු බව මතකයට ආ වහාම ඇය වහාම මල් කළඹ ද රැගෙන ජලය තුළට ගියේ ගෙල දක්වාම ජලයේ ගිලෙමින්.

" මා කතා කළේ ඔබට ඇස්ට්‍රියා " ඔහු පොකුණ අසලටම ළං වෙමින් කියා සිටියා.

ඇය පළායන්නට මගක් නැති නිසාම හිසත් ජලය තුළට ගෙන සඟවා ගත්තේ හොඳ හුස්මක් ගනිමින්.

" ඔබට තවත් තප්පර කිහිපයකට වඩා ජලයේ සැඟවෙන්න බැහැ ඇස්ට්‍රියා , හොඳයි මා මෙතැනම සිටිනවා" ඩ්‍රයිඩන් දෑත් බැඳගෙන ඇය සිටි තැන දෙස් බලා සිටියා.

එකවරම වේගවත් සුළඟක් සමග අවට තිබූ ගස් වල අතු අරඹමින් හමා යද්දි පොළව වසාගෙන සිටි වියළි තුරුපත් වෘත්තාකාරව භ්‍රමණය වෙමින් ඉහළ නැගෙන්න ගත්තා.

යම් අනතුරක් ඉවෙන් මෙන් දැනුන නිසාම ඩ්‍රයිඩන් සිය අසිපත ඉවතට ඇදගත්තේ සිය දෑස් වගේම දෙසවන්ද හොඳින් විවර කරමින්.

ඒ එක්කම ඇස්ට්‍රියා ජලයෙන් මතුපිටට පැමිණියේ හුස්මක් ඉහලට අදිමින්.

" ඩ්‍රයිඩන් , මට උදව් කරන්න..." එසේ කියද්දී ඇය යළිත් ජලය තුළට ඇදී ගියා. ඒ එක්කම දිය සුළියක හැඩගත් පොකුණු දිය ඇය වටා කැරකෙන්නට පටන් ගත්තා

" ඇස්ට්‍රියා , මගේ අත අල්ලාගන්න" සිය අසිපත වේගයෙන් පොළවට කිඳාබැස්සවූ ඔහු එක් අතකින් එහි එල්ලී අනෙක් අතන් ඇස්ට්‍රියාව අල්ලාගත්තා.

" මා ඔබව ඉහළට ඇදගන්නම් ඇස්ට්‍රියා " සිය සම්පූර්ණ ශක්තියම යොදා ඇයව තමන් දෙසට ඇද්ද්ත් ඇය යමක පැටළී ඇති බවක් දැනුනා.

" ම... ම...මගේ... පය... දිය සුළියට හසු වෙලා" ඇය ජල පහරින් බැට කමින් කියා සිටියා.

තමන්ගේ ග්‍රහණයෙන් ගිලිහුණහොත් ඇය සුළියට හසුවී මිය යන්නට වුවද ඉඩ ඇති බව ඔහුට තේරුම් ගියා. උදව් ඉල්ලන්නට යාමේ හැකියාවක්ද නැති වීම ගැන ඔහු කෝප වුණා. දඩයම් අතරේ අහම්බෙන් ඇසුන හඬ නිසා ඔහු මෙහි ආ හෙයින් ඔහුගේ දඩයම් සගයා වුණ ෆෙලික්ස් වත් ඒ ගැන දැන සිටියේ නැහැ.

සුළියේ ප්‍රබලත්වය කෙමෙන් වැඩි වෙද්දී ඇස්ට්‍රියා තව තවත් ජලයේ ගිලෙන බව ඔහුට තේරුණා. සියල්ල රැඳී ඇත්තේ තම ශක්තිය මත බව ඔහු දැන සිටියා.

🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]Onde histórias criam vida. Descubra agora