ඵලකය රැඳි දෑත එක තැන නතර වෙද්දී ඇගේ හුස්ම හා මුසු වූයේ ඔහුගේ අනන්‍ය වූ ලාවා ඈෂ් සුගන්ධය , ඇගේ මැණික් කටුව අසලින් දැනුනේ සුපුරුදු කළු අත්වැසුමේ පහස.
ඇය ඔහු දෙසට නොහැරීම දෙනෙත් බිමට යොමා ගත්තා. වදනක් පිට කරගන්නට තරම්වත් ශක්තියක් නොවූ නිසාම ඇය දෙදණ නවා බුමුතුරුණුව මත පතිත වෙද්දී ඇගේ අත ඔහු නිදහස් කළා.
මේ ඔහු බානබස් හි ප්‍රධාන රජමාළිගයේ ඇගේ කුටිය වෙත ආ පළමු අවස්තාවයි. ඇගේ ලා දම් පැහැය, ලා රෝස පැහැය සමග සුදු පැහැය මිශ්‍ර තිර රෙදි , ඇඳ ඇතිරිලි, බිත්ති සැරසිලි තිබූ කුටියේ කවුළුව හරහා පෙනුනේ ඈතින් දිස්වන ග්රැසොන් වනයේ ආරම්භක සීමාවයි.
කුටිය පුරාම විහිදී තිබුණේ ඔසු මිශ්‍ර සුගන්ධවත් ඖෂධ දාහක විසින් විසිරුවා හැරි සුවඳයි.
ඇය සිය දෑස් මගහරිද්දී ඔහු කෙමෙන් ඇය ඉදිරියට විත් ඇය අසළින් බුමුතුරුණුව මත දෙදණ නවා හිඳ ගත්තා.
" ඇස්ට්‍රියා , ඔබ මෙතරම් වේදනා විඳින්නේ තව දින කිහිපයක් පමණයි" සෙමෙන් සිය අතැඟිලි වලින් ඇගේ නිකට ඔසවමින් ඇගේ දෑසට කිමිදුණ ඔහු කියා සිටියා.
" ඩ්‍රයිඩන් , කරුණාකර පිටව යන්න. මගේ කුටියට කොලින්ට හෝ පිවිසීමට අවසර නැහැ. " ඇගේ දෙනෙත්වල තිබූ විඩාව ඔහුව කළඹා හැරියා.
" මම යළිත් පිටව යන්නේ නැහැ ඇස්ට්‍රියා , මම... අප.... " කියන්නට අවශ්‍යවුවත් ඇගේ පියා සමග මෙය මුලින්ම කතා කළ යුතු බව ඔහු යළිත් සිහිකරගත්තා.
" ඔබව මා සදහටම මගේ ජීවිතයෙන් පිට කර අවසානයි ඩ්‍රයිඩන් " ඇය එසේ කියමින් ඇය අත තිබූ ග්රැවේනියා මල් ඵලකය ඔහුගේ හිස් දෑත මත තැබුවා. එසේ තබා ඇය නැගී සිටියේ ඔහු පිට නොවන්නේ නම් තමන් හෝ පිට විය යුතු බව කල්පනාවට ගනිමින්.
නමුත් ඔහු ඇයත් සමගම නැගී සිට අගේ බඳ වටා දෑත් යවා ඇයව තම උණුසුමේ හොවාගත්තේ ඇගේ පිටුපසින්.
" ඇස්ට්‍රියා , ඔබ ඔබේ රාජ්‍යයත්, ඔබේ පියාගේ රාජ්‍ය උරුමයත් අත් හැර අප දෙදෙනාව තෝරාගන්නට අවස්තාවක් ලැබුණොත්, ඔබ අප දෙදෙනාව තෝරාගන්නවා නොවේද?" ඔහු ඇගේ ගෙල මත සිය උණුසුම් හුස්ම තවරමින්.
VOUS LISEZ
🌓 දූවිලි තාරකා 🌓 [COMPLETED]
Fantasyදිළිසුමක් ලෙස දැවී වැස්ස සේ වැටෙන්නම් ජීවයක් නුඹ රැඳෙන නිම්නයේ තබන්නම් 🧡