පළමු දිගහැරුම [with character images for Non Fan Fic Readers]

4.1K 127 65
                                    

හතරවටේ ප්‍රාකාර බැඳන් තිබුණු ගන අඳුරේ, පෑරුණු ස්වර තන්තුවලින් ගලන මලකඩ සුවඳ ලේ බිංදු කට කොනෙන් වාන් දානකොට, මම මුළු ඇඟේම හයිය එකතු කරලා අන්තිම වතාවටත් උදව්වක් ඉල්ලලා කෑගැහුවා. කළු ගලක් එල්ලලා වගේ මගේ ම පපුව මට ම බර වැඩි වෙනකොට මම පපුව මිරිකගෙන බිම ඇඳගෙන වැටුණේ, මුළු පෘථිවිය ම මාව පණ පිටින් ගිලගන්නවා වගේ හැඟීමකින් මාව ගල් වෙලා යනකොට.

මගේ පපුවේ හරයෙන් ම නිර්මාණය උනු හුදකලාවේ පරපෝෂිත කළු කුහරයකට මගේ ආත්මය ඇදිලා යනවා වගේ මට දැනෙන අතරේ මම ටිකෙන් ටික මේ ලෝකෙන් ඈත් වෙනවා මට පෙනුණා. මගේ ආත්මය දිය වෙනවා, මගේ ඇගේ ජීවය රැඳුණු හැම සප්‍රාණික අංශුවක් ම අප්‍රාණික දූවිල්ලක් වෙලා විශ්වයේ හැම අංශකයකට ම පාවෙලා යනවා. හැමදෙයක්ම අතෑරලා මම ඇස් දෙක පියා ගත්තා. ඔව්, මම සූදානම්... හැමදේම දාලා යන්න.

ඒත් එකපාරට ම මගේ ඇස් දෙක දීප්තිමත් නිල්වන් ආලෝකයකින් නිලංකාර වෙලා යනකොට දූවිලි වෙලා ගිය මගේ ආත්මය ආපහු එකතු වුනේ විදුලි වේගයෙන්. හැම නහරයක් පුරාම අමුතුම ශක්තියක් ගලාගෙන යනකොට මගේ ගල් ගැහුණු හදවත රිද්මයකට පණ ගැන්වුණේ මගේ හිත පුරා වචනවලින් කියන්න බැරි උත්තේජනයක් උතුරා යනකොට. කෑලිකපන්න පුළුවන් වුණු ඝන අන්ධකාරය අමු අමුවේ ඝාතනය කරපු ඒ ලස්සන නිල් ආලෝක රේඛා අහස පුරා අව්රෝරා මැව්වේ මගේ ලෝකය ම නිල් පාට හැඟීමකින් පිබිදෙනකොට.

ඒ ආලෝක කදම්බයේ මූලාශ්‍රයෙන් ටිකෙන් ටික කෙනෙක් මතුවුනේ හරියට එයා ඒ ආලෝකයෙන් ම ඉපදුණා වගේ. මගේ හිතට ඒ වෙලාවේ දැනුණු ඒ හැඟීම මම මගේ ජීවිත කාලේ පුරා හීනෙකින්වත් විඳලා තිබුණේ නෑ.

අහස් නිල් පාට දිග සේද ලෝගුවක් ඇඳලා, හුස්මකටත් ලෙලදෙන තරම් හීනියට, පිලිවෙලට තුනී දිග කොණේඩේ පීරලා, නිල් පාට නළල් පටියක් බැඳලා හිටපු එයාගේ මූණ අතිශය දීප්තිමත් ආලෝකය හරහා මට දුර තියා පැහැදිලිව පෙනුනේ නැහැ. අඩි කීපයක් ඉස්සරහට ඇවිත් නතර වුණු එයා දකුණු අත ඉස්සරහට දික් කළේ මාව කැඳවන්න වගේ.

වචනයක්වත් නොකිව්වත් එයා කියපු දේ මට තේරුණා. හරියට මොකක්දෝ බලවේගයකින් අපේ හිත් බැඳලා වගේ...

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now