පනස් දෙවන දිගහැරුම

271 19 7
                                    

යුකී සන්ගේ හමුවෙන් පසු දා උදා වූ අරුණෝදයේ සිට ඉචිරෝ තියෝ ගේ සටන් පුහුණුව ආරම්භ කළේ ය. තියෝ ගේ බලවත් ඉල්ලීම මත සමුරායිවරුන්ට ආවේණික සටන් ක්‍රම පමණක් නොව නින්ජාවන්ගේ නින්ජුත්සු සටන් ශිල්පය ද උගන්වන්නට ඉචිරෝ එකඟ වූයේ තියෝගෙන් ගැලවීමක් නොමැති තැනය. හුදෙක් පින්සල අවියක් කොට ගත් තියෝ හට අසිපතෙහි රළු බව දැනෙන්නට වැඩි කාලයක් නොගියේ ය. ඉචිරෝ ද යුද්ධයේ දී හතොරි මෙන්ම සමාව යන වදනෙහි අරුත පවා නොදත්තෙකු වූ අතර එම කාල සීමාව තුළ උදෑසන අවදි වී මැණික්ව සුරතල් කරමින් සිටි තියෝව කාමරයෙන් කුදලාගෙන ඒමට සෑම උදෑසනකම දොර අසල හිටගෙන සිටියේ වෙන කිසිවෙකු නොව ඉචිරෝම ය.

දිනක් තියෝ ගේ පිට හරහා ඇඳී තිබූ ඝන නිල්වන් කැලල දුටු සපුමල් හට තවදුරටත් තම කෝපය පාලනය කර ගත නොහැකි වීය.

"ඔබට කඩු හටන් ඉගෙන ගැනීමට අවශ්‍ය උනා නං ඇයි උපන් දා ඉඳන් දන්න කියන මට නොකිව්වේ...? වසර තුනක් පුරා මලයාල දේශයට ගොස් කඩු සටන් හැදෑරූ ඔබේ අයියණ්ඩියව විශ්වාස නැති උණා ද ඔබට, පරදේසක්කාර ජපනෙකු ඉදිරියේ දණින් වැටෙන්නේ...?"

"එය අභිමානය පිලිබඳ ගැටලුවක් නොවෙයි අයියණ්ඩි. එයයි ඔහු ව දැන ගැනීමට, ඔහුට සමීප වීමට මට ඇති එකම මාර්ගය...."

"ඔබ මොකටද ඔහුට සමීප වෙන්නේ?"

"ඔබම කියන්න.... ඇයි ජෝන් ඩොයිලි සිංහලයන්ට එතරම් සමීප උනේ? සිංහලයන් පිලිබඳව තොරතුරු සොයාගන්න. ඉතින්.... මාත් ඔහුට සමීප වෙනවා...."

"මොකද? ඔබ ජපානය ආක්‍රමණයට ද උත්සාහ කරන්නේ?"

"සමහර මිනිසුන් සමීප වෙනවා ආක්‍රමණය කරන්න. තවත් මිනිසුන් සමීප වෙනවා ආදරය කරන්න. ඔය දෙකටමත් අයත් නැති මිනිස්සු ඉන්නවා."

"ඔවුන් මොකටද සමීප වෙන්නේ?"

"නොදත් දේ දැන ගන්න...."

සපුමල් එතනින් එහා තියෝගෙන් ප්‍රශ්න කිරීමට නොගියේ එයින් ඵලක් නොවන බව දැන ගෙනය.

.............................

"ආහ්...."

අලුයම නිසසල වාතලය සසල කරමින් රිජ්ෆීල්ඩ් උද්‍යානයේ එක් කෙලවරකින් සිය වන වතාවටත් තියෝ එසේ කෑ ගෑවේ ඉචිරෝගෙන් තම පශ්චාත්බාගයං එල්ල වූ සැර වේවැල් ප්‍රහාරයකිනි.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now