හතලිස් නවවන දිගහැරුම

205 30 19
                                    

ක්ෂණයෙක් පූර්වයේ හසරැල් මන්දස්මිතයන්ගෙන් සුසජ්ජිත වූ නිසසල රිජ්ෆීල්ඩ් වාතලය ම මේ මොහොත වන විට සසල වී ගොසින් ය. පසෙකින් අශ්ව රථයන්ගේ කෝණයක් කෝණයක් පාසා තම උකුසු ඇස් මෙහෙයවමින් සෙවීමෙහි නිරත කාල වර්ණ ද්විත්ව කගපත් ධාරී සමුරායිවරුන් ය. පසෙකින් මන්දිර සඳළුතල සතර දිග විමසන අවි දරා ගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ හේවායින්ය. තවත් පසෙකින් මන්දිරය වටා වූ තුරු වදුලු මං මාවත් අවුස්සමින් සෙංකඩගලපුරය වටා ගම් නියම්ගම් මායිම් කපොලු අහුරා යෑම් ඊම් තහනම් කොට පරීක්ෂණ කරනා සිංහල හේවායින් ය. නුවර කඩපිලක්, ඉස්තෝප්පුවක්, ගුරු පාරක් පාසා කලබලයෙන් දූලි වලාවන් නගමින් දිව යන්නා වූ අසරුවන් දැක වික්ෂිප්ත වූ සිවිල් වැසියන් ගේ කුතුහලයෙන් බර නේත්‍රාවන් ය.

මීට හෝරා කිහිපයකට පෙර මන්ද මාරුතයට මැයි මාර දළු පමණක් ලෙලදුන් සමස්ත සෙංකඩගලපුරය ම දැන් සෙලවී ඇත!

තොකුගව පරම්පරාවේ උප නායක තොකුගව හතොරි රිජ්ෆීල්ඩ් මන්දිරයේ රහස් සාකච්ඡා මණ්ඩපය තුළ වේගයෙන් එහා මෙහා ඇවිදිමින් තම වියරුවත්, ප්‍රකෝපයත් මුසු වූ ලෙයින් ලෝහිතාභිශේක වූ දෙනෙතින් විටින් විට තමා හට කරුණු පැහැදිලි කිරීමට තැත් කරනා තියෝ දෙස නොඉවසිලිමත් බැලුම් හෙලනුයේ හතර දිග්බාගය ම පරීක්ෂා කරනු වස් පිටත් වූ තම සෙබළුන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබේවායි ප්‍රාර්ථනයෙන් තම ගිනි ගෙන දැවෙන හිස නිවාලන්න නිශ්ඵල උත්සාහයක නිරත වී සිටින තරුණ තියෝ ද තවමත් සිදු වූ දෙයින් වික්ෂිප්ත වූ වනම සිටින විටයි. දහසකුත් එකක් ගැටුම් හමුවේ ඉචිරෝ තම සුපුරුදු ශීතල, නිශ්චල, භාව ප්‍රකාශනයන්ගෙන් විනිර්මුක්ත වූ දෙනෙතින් නායක හතොරි පිටුපසින් දෑත් පිටුපසට බැඳ ගෙන සිටිය ද, විටින් විට ඔහුගේ දෙනෙත් තියෝ වෙත ඉතා සියුම් බැල්මන් හෙලූ වගත්, ඒ සෑම මොහොතක දී ම ඔහුගේ දෙතොලගින් දුර්ලභ වෙව්ලුමක් මතු වූ බවත්, තියෝ තම අත මිට මොලවා මේසයට වැරෙන් පහරක් එල්ල කරනා සෑම මොහොතකම ඔහුගේ හකුපාඩා දැඩි වූ බවත් දුටුවේ විටින් විට තියෝ හා ඉචිරෝ අතර හුවමාරු වූ බැල්මන් පිළිබඳ සංවේදී වූ සපුමල් බණ්ඩාර පමණි.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now