පස් වන සිත්තම
එලිය තිබුනට තරුව නිවිලා ගිහින් කියලා තාත්ති දැන ගත්තේ ඔයා ඉන්දියන් සාගරයේ ඉඳලා අත්ලන්තික් සාගරයට ගියාට පස්සේ...
ඊට ටික කාලෙකට පස්සේ තාත්ති ලංකාවට ආවා.... එයා එංගලන්තෙන් එන කොටම දැඩි අධිෂ්ඨානයක හිටියා මාව හොයා ගන්නවා කියලා...
ඉතින් ආපු දවසෙ ඉඳලම මගේ පරණ යාළුවො හොයා ගෙන එයාලගෙන් මගේ විස්තර ඇහුවා..
ඇත්තටම චූටි දූ කොළඹට සමු දීල ගෙදර ආවට පස්සේ, මම ඒ කාටවත් කතා කලේවත් නැහැ... මට ලැජ්ජා හිතුනා... අධ්‍යාපනය හරියට සම්පුර්ණ කර ගන්නේ නැතුව, දුවෙක් ලොකු මහත් කරන මම එයාලා එක්ක මොන කතා කරන්නද...මගේ ලෝකේ පිරිලා තිබුනේ ටික ටික පිම්බෙන කුස ඇතුලේ දඟලන ඔයාගෙන්....
මගේ හිත පිරිලා තිබුනේ මට අහිමි වුන ඔයාගේ තාත්තිගෙන්...
මගේ දවස පිරිලා තිබුනේ ආච්චි අම්මගේ සැර වචන වලින්..
ඉතින් ඉස්කෝලේ යාළුවො මට හීනයක් වුනා.. මට ඉතුරු වුනේ මගේ සහෝදරිය විතරයි...පූංචි විතරයි මගේ මානසික මට්ටම තේරුම් ගත්තේ...
එයා ඒ දවස් වල මගේ ළඟටම වෙලා ඉන්නවා... යන යන තැන මගේ පස්සෙන් එනවා.. එයා බය වුනාද දන්නේ නැහැ එයාගේ අක්කා ජීවිතය අත් හරියි කියලා...
අම්මි එච්චර මෝඩ නැහැ චූටි දූ... මොන දේ කොහොම වුනත් අපි තත්පරෙන් තත්පරේ ඉස්සරහට යන්න ඕනේ...ඇරත් මගේ ඇඟ ඇතුලේ හුස්ම ගන්න ඔයා...
ඔයා ඒ වෙනකොටත් මගේ ජීවිතේ සින්නක්කරව ලියා ගෙන තිබුනේ...තාත්තිට ලේසි වුනේ නැහැ මාව හොයන එක...
ඒ අතරතුර තාත්තිගෙ අම්මා එයාට නොයෙක් ආකාරයේ විවාහ යෝජනා ගේන්න ගත්තා..ලස්සන ගෑනු ළමයි, උගත් ගෑනු ළමයි, සල්ලි උතුරන ගෑනු ළමයි... මේ හැමදේම තියන කට්ටිය... කීපයක් තියන කට්ටිය...මොකුත් නැති කට්ටිය නම් හිටියේ නැහැ... ඒ අම්මා කාගෙවත් හදවත් දිහා නම් බැලුවෙත් නැහැ...
තාත්ති ලස්සනට සැරසිලා ගිහිල්ල එයාලගේ මොකක් හරි ඇදයක් හොයා ගෙන බෑ කියනවා...
මේක මෙහෙම වෙයි කියලා අම්මිට පොඩි සැකයක් තිබුනා..එංගලන්තේදි තාත්ති වටේම කැරකුණු ගෑනු ළමයෙක් හිටියා... නිල් පාට ඇස් තියන, තඹ පාට කොන්ඩේ තියන ලස්සන කෙල්ලෙක්.. බෝනික්කියක් වගේ...එයා තාත්තිගෙ ලඟම මිතුරියක්...
අම්මි ඇහැ ගහ ගෙන හිටියේ මොකද වෙන්නේ කියලා...
ශරත් ඍතුවෙ කහ පාට, රතු පාට කොළ වලින් පිරුණු එළිමනහනකදී එයා තාත්තිට තමන්ගේ හදවතේ වග තුග කියල දැම්මා...
තාත්ති මොකුත්ම කිව්වෙ නැහැ.
" ටිම්..ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ... මම ඔයාට ඇත්තටම ආදරෙයි.. "
එයා බොහොම අවංකව තමන්ගේ ආදරය වචන කලා..ඒ ඇස් වල දිලිසුන බලාපොරොත්තුව දැකලා අම්මිටත් දුක හිතුනා..
සිංහල භාෂාව දන්නැති එයාල තාත්තිට කතා කලේ ටිම් කියලා... තාත්තිගෙ නම තිමිර නිශේන්ද්‍ර රණතුංග.... ඒක එයාලට දිව පැටලෙන නමක්...
ඒ බෝනික්කි තාත්තිට ලං වෙලා ආදරෙයි කියපු වෙලාවේ ඇත්තටම අම්මිගෙ රිදුනා චූටි දූ.... පොඩි ඉරිසියාවක් මගේ හිතේ මුල්ලක නලියන්න ගත්තා..
හරියට මගේ දේ කවූරු හරි උදුර ගන්න ආවා වගේ..
ඒත් මම ඒ හැගීම් කොනකට තල්ලු කරලා මොකද වෙන්නේ කියලා බලා ගෙන හිටියා..
" ටිම් ඔයාට මම කියන එක තේරුනාද? "
එයා බොහොම ඉවසිල්ලෙන් ඇහුවා.
" මට ඔයා කියන එක තේරෙනවා මෙලී .. ඒත් මම වෙන කෙනෙක්ට ආදරෙයි.. "
ඉංග්‍රීසි බෝනික්කි කලබල වුනා.
" කව්ද ඒ.... අපිත් එක්ක ඉගෙන ගන්න කෙනෙක්ද? "
" නැහැ මෙලී.. එයා ඉන්නේ ලංකාවේ "
" ඒත් ඔයා ඉන්නේ මෙහේනේ.. "
" මම එයාව ගොඩ කාලෙකින් දැකලා නැහැ " තාත්තිගෙ ඇස් රැඳිලා තිබුනේ ගොඩාක් දුර.
"කතා කරලා නැහැ... ඒත් මට එයාව අමතක කරන්න බැහැ.."
ආදරය පරිස්සම් කරගෙන ජීවත් වෙන තාත්ති ගැන මට ආඩම්බර හිතුනා.... ඒත් ඊට පස්සේ දුක හිතුනා.. මොකද මේ ආදරය පරිස්සම් කලා කියලා එයාට ලැබෙන දෙයක් නැහැ..
YOU ARE READING
සීත සෙවනැලි (Sinhala ) Completed
Romanceමරණින් මතුවට වුනත් මට ඔයාලව අත් හරින්න බැරි හැටි....හරිම පුදුමයි නේද... ඔය දෙන්න නිදා ගන්න කොට මම ඉහ ඉද්දර බලා ඉන්නවා... දවස ගෙවා ගන්නේ ඔයාලගේ හුස්ම වල සද්දෙන් .. හර්ෂාලි.... තිමිර.... දූන්යා... අපි තුන් තැනක.. මම මියැදුණු සීතල සෙවනැල්ලක්... ඒත් ඔ...