23.

21 4 2
                                    

විසිතුන්වන සිත්තම

සාමාන්‍ය පෙල විභාගයෙන් අනතුරුව නිවසේ රැඳී උන්නු කාලය හරිම මන්දගාමීව ගෙවුනේ හරියට ඒ දවස් වල 112 කොටහේන මහරගම බස් එක වගේ.ගමේ පුස්තකාලයෙන් පොත් කියවමින් තමයි කාලය ගෙවා ගත්තේ.කියවන හැම ආදර කතාවකම පිරිමි චරිතයට තිමිරව මවා ගෙන දවල් හීන සිතුවම් කලා.
අන්තිමට අපි හමු වුණ දවස ගැන ආයේ ආයෙත් මතක්‌ කරමින් දවස ගෙව්වා.
මම ගෙදර එන්න කලින් දවසේ විභාගේ ඉවර වෙලා ගෙදර එනකොට දිගටම බස් එකේදී තිමිර මගේ අත අල්ල ගෙනමයි හිටියේ. ආයෙත් 176ට නැග්ග ගමන් මගේ ඇඟිලි එයාගේ අතට හිර වුණා.
" ඔයාව අත අරින්න හිතෙන්නේ නෑ. හෙටින් පස්සේ දකින්නත් නෑනේ " තිමිර කිව්වෙ බස් ඒකෙ යන අතර.
"මම පන්ති යන්න එනවනේ "
" හ්ම්ම්.. ඒ ජනවාරි වලනේ.ඒක හරි ඈත වගේ හිතෙන්නේ "
"ඔය දවස් ටික ඉක්මනට ගෙවිල යයි "
" ඔයා හෙට උදේ නේද යන්නේ "
" ඔව් "
" මට හෙට උදේ පන්ති "
" කමක් නෑ.. ඔයා පන්තියට යන්න. ඒක මිස් කරගන්න එපා "
බස් ඒකෙන් බැහැපු ගමන්ම එක තත්පරයකට තිමිර මගේ උරහිස් වටේ අත යවල... ලං කරගෙන.... අත ඇරිය.
පහුවදා තාත්තා උදේම ආවා. එදා මට අත වනන්න තිමිර හිටියේ නැහැ.....

මේ මතකයන් නැවත නැවත මතක් කරමින් මම දිනෙන් දිනේ කල් ගෙව්වා.
අනික්‌ පැත්තෙන් අම්මගේ තාත්තාගේ මුණු දකින කොට වැරදිකාරී හැන්ගීමකින් පීඩා වින්දා.කොච්චර කොහොම වුනත් මේක ඒ දෙන්න බලාපොරොත්තු නොවන දෙයක්...

" කොහොමද කුමාරයා? " නිවාඩුව පටන් අරන් දින කිහිපයකින් නංගි ඇහුවා.
අපි ඒ වෙලාවේ සාලේ බිම ඉඳගෙන කම්මැලි කමට ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් සෙල්ලම් කර කර හිටියේ.
ඊ ලඟට වාරය තිබුනේ මට.කැටය හොල්ලල බිම දැම්මම හයක්....1,2,3,4, 5,6....ඉනිමගක්...
" හොඳින් ඉන්නවා " නංගි තිමිර ගැන කතා කරන්න වැඩිය කැමති නැහැ කියලා මට තේරිලා තිබුනේ. පොඩිම පොඩි ඉරිසියාවක් එයාගේ හිතේ ඇවිදිනවා කියලා මට දැනුන.
" එයාට ලබන අවූරුද්දෙ විභාගේ නේද? "
" ඔව් " ඉත්තව ඉනිමග දිගේ ඉහලට යවල මම ආයෙත් කැටේ හෙල්ලුව.
" එයා හොඳට කර ගනීද "
" එහෙම හිතනවා "
" ඔයත් අනා ගන්නේ නැතුව වැඩ කර ගන්න. අපිට සල්ලි නැහැනේ. අපිට තියෙන්නේ මෙච්චරයි.ඔයා විභාගේ හරියට නොකරොත් ඔක්කොම ඉවරයි."
මම ඉත්තා කොටුවෙන් තියන්න කලින් නංගි දිහා බැලුව.එයා එතකොට නවය වසරේ.හැබැයි මනසින් ඊට වැඩිය ගොඩාක් වැඩිමහල්.
" මම විභාගේ හොඳට කර ගන්නවා "
" මෙහෙමයි තමන්ගේ වැඩේ කර ගන්න එක තමා හොඳම දේ. තමන්ව දෙවෙනියට දාලා වෙන කව්රුත් ගැන හිතන්න ඕනේ නෑ. එහෙම කාටවත් කැප වෙන්න හොඳ නැහැ "
මම නිෂ්ශබ්දව ඉත්තා කොටුවෙන් තිබ්බා.නංගියි මමයි හිතන්නේ වෙනස් දිශා දෙකකට කියලා මට තේරූම් ගියේ පොඩි කාලේදීමයි.ඒ නිසා එයාගේ වචන වලට මම පුදුම වුනේ නැහැ.
" ඔයටත් තේරෙයි කව්රු හරි හම්බ වුණ දවසක" මම කැටය එයාට දුන්නා.
" මම නම් කවදාවත් ඔහොම මැරීගෙන නම් ආදරේ කරන්නේ නැහැ. මම කරන්නේ මට ඕන දේ. ඔය එක එක්කෙනා වෙනුවෙන් ඇප කැප වෙන්න නම් මගේ කිසිම අදහසක් නැහැ "
මම කට වහ ගත්තා. අපි කොච්චර කතා කලත් අපේ අදහස් වෙනස් කර ගන්නේ නැහැ. ඒක නිසා කතා කරලා තේරුමක් නැහැ.
නංගි දිගටම කතා කලා. " කොහොමටත් ලංකාවේ ඉන්න මං කැමති නැහැ. මට ඕනේ රට යන්න.මම මෙහෙ කැම්පස් යන්න කැමති නැහැ "
" රට යන්න සල්ලි කොහෙන්ද? " මම ඇහුවේ පුදුමෙන්. මෙයා මෙච්චර දේවල් සැලසුම් කරලද... " අනික ලංකාවේ තියන වැරද්ද මොකද්ද? "
" මට ඕන විදියට ඉන්න බැරි එක තමයි වැරද්ද. මම මොකක් හරි විදියක් හොයා ගන්නවා. එක එක ශිෂ්‍යත්ව එහෙම තියනව "
මේකිට පිස්සුද මන්දා.... මම තනියම හිතින් බැන බැන කැටය බිමට දැම්මා.හතරයි... අන්තිම කොටු පේලියට ඉනිමගක් හම්බ වුණා.
" මම ගිහිල්ලා ඔයාවත් ගන්නම් "
" මම ලංකාව දාලා කොහෙවත් යන්නේ නෑ "
" ඔයාගේ කැමැත්තක් " නංගිට හයක් වැටුනා... සීයට කොටු කිහිපයකට කලින් කොටුවට ඉනිමගක්....
" ආයි මමනේ " තුනයි....
මට වැඩිය පහලින් හිටියට නංගි දිනුවා.

සීත සෙවනැලි (Sinhala ) Completed Donde viven las historias. Descúbrelo ahora