37.

20 2 0
                                    

සීත සෙවනැලි

තිස්‌හත් වන සිත්තම

වාන් දොරටු විනාශ කර ගෙන පිටාර ගලපු නංගිගේ විලාපයෙන් අනතුරුව විනාඩි කිහිපයක් යන කල්ම තිමිර හිටියේ  බිත්තියට වාරු දී ගෙන... ඊට පස්සේ බිත්තිය දිගේම රූටලා එයා සිමෙන්ති පොලවේ ඉඳ ගත්තා.
" පාරි.. ඔයා ඇතුලට යන්න " සචිත නංගිට කිව්වා.
" මම මොකටද ඇතුලට යන්නේ " නංගි ඇහුවේ කඳුළු පිහ දාන ගමන්." මට එයාට තියනවා තව කියන්න දේවල් "
" පාරි.. ඔයා ඔය කියපු ටික හොඳටම ඇති...please go inside "
" හැබැයි සචිත මෙයා දුනීව අරගෙන යන්න හැදුවොත් මම බලාගන්නම් මොකද කරන්නේ කියලා "
" ඔයාට පිස්සුද පාරි... දුනීව බලෙන් උස්ස ගෙන යන්න තිමිර පාතාලෙද.. ඔයා ඇතුලට යන්නකෝ.. අම්මටයි තාත්තාටයි කතා කරන්න.. ඒ දෙන්න බය වෙලා ඇති. එයාලට කියන්න තිමිර දුනීගේ තාත්තා කියලා.."
" මම හැබැයි... "
" පාරි... මනුස්සයෙක් රිදිලා ඉන්න වෙලාවේ තවත් රිදවන එක මනුස්සකමක් නෙවේ... අපි සතෙක්ටවත් එහෙම සලකන්නේ නෑනේ...තිමිර කියන්නෙත් මනුස්සයෙක්... ඒ මනුස්සය පුදුම තරම් වේදනාවක ඉන්නේ කියන එක ඔයාට තේරෙන්නේ නැති එක මට පුදුමයි ඇත්තටම..'
" මට එයාගේ වේදනාවෙන් වැඩක් නැහැ.. "
" මම කවදාවත් හිතුවේ නැහැ ඔයාට ඔය තරම් නපුරු වෙන්න පුළුවන් කියලා "
" මගේ අක්කව මරපු කෙනාට මට ඕන තරම් නපුරු වෙන්න පුළුවන් "
" පාරි " සචිත සැර වුණා " ඔයාට කී සැරයක් කියන්නද.. තිමිර ඔයාගේ අක්කව මැරුවේ නැහැ.. එයා මැරෙන්න තියන වෙලාවට එයා මැරුණා..ඒ දෙන්න බැඳලා හිටියත් ඒක එච්චර තමයි...ඒක දෛවය නැතුව වෙන මොකුත් නෙවේ..ඔයා කරුණාකරල ඇතුලට යන්න..'
" සචිත.. "
" පාරි ප්ලීස්... ඇතුලට යන්න.. "
නංගි සචිතට රවල ඇතුලට ගියා.
සචිත තිමිර ලඟට ගියා.

තිමිරගෙ උර වටේ අත දාලා නැගිට්ටෙව්වා.එයාව වත්තම් කරගෙන ගිහින් ඇඳි පුටුවකින් ඉන්දෙව්වා.
ඉන් අනතුරුව තමයි තිමිර අඬන්න ගත්තේ. මම අහන්න ආසම නැති ශබ්දය...කෙලින්ම මගේ හදවත පහුරු ගාල ලේ එන්න සලස්වන ශබ්දය...

සචිතත් එහා පුටුවෙන් ඉඳ ගත්තා.ඇත්තටම තිමිරව කොහොම සනසන්නද කියලා සචිතට තේරෙන්නේ නැහැ.මෙච්චර දේවල් අහිමි වෙලත් තිමිර මිනීමරුවෙක් බේබද්දෙක් නොවී ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීම ගැන සචිතට පුදුමයි.ඇත්තටම මේ සියළු අහිමි වීම් මැද ජීවිතය දරා ගෙන ජීවත් වෙන්න සෑහෙන්න ශක්තියක් ඕනේ...
පාරි කොච්චර කිව්වත් අක්කා මෝඩ වුණා කියලා ඒ තත්වය තේරුම් ගන්න පුළුවන් ඒකට මුහුණ දෙන කෙනෙක්ට විතරයි... එක එක්කෙනා තමන්ගේ පෞර්ෂයන් මත ගන්න තීරණ වෙනස්....අනිත් එක අක්කා තිමිරට ආදරය කරපු හැටියට තිමිර නරක කෙනෙක් වෙන්න බැහැ...
දැන් ඉතින් අක්කා නැහැ... එතකොට අක්කා ඔය තරම් ආදරය කරපු මේ තාත්තටයි දුවටයි මොකක් හරි සාධාරණයක් වෙන තත්වයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ... තිමිර තමන්ගේ තරුණ ජීවිතේ ඇති තරම් දුක් විඳලා තියනවා... අක්කට හැමදාම ඕන වුනේ තිමිර සතුටින් ඉන්න..ඉතින් එයාට සාධාරණයක් ඉටු වුනේ නැත්තම් අක්කා එයාව ජීවත් කරවන්න තමන්ගේ ආදරය කැප කරපු එකෙනුත් පලක් නැති වෙනවා...
" ඇයි එයා මට මේ හැමදේම හැංගුවේ..ඇයි මට කිව්වෙ නැත්තේ." තිමිර සචිතගෙන් ඇහුවේ කඳුළු පිරුණු ඇස් එක්ක.
" අක්කා කලේ ඒ වෙලාවේ එයාට හරි කියලා හිතුන දේ.. එයා බය වෙන්න ඇති... අනිත් එක ඔයාව පරිස්සම් කරන්න තමයි එයා වැඩ කලේ.. "
" දැන් ඉතින් මම ජීවත් වෙලා මොකටද... හශී පුදුම දුකක් විඳලා තියෙන්නේ.. මම ඇත්තටම හිතුවේ නැහැ එයා මට බොරුවක් කරනවා කියලා... එයා එදා හරිම නපුරු විදියට කතා කලේ...මට හැමදාම හිතුනු දෙයක් තමයි ඒ වගේ කෙනෙක්, ඒ වගේ ආදරයක් මට හොඳ වැඩියි කියලා.. ඉතින් ඒක නිසා එයාට මාව එපා කිව්වම මම ඒක පිළිගත්තා... ඒක තමයි මම කරපු ලොකුම වැරද්ද... එයාව අත ඇරපු එක.. අනේ පව් මගේ කෙල්ල.. එයාට මාව ඕනම වුන වෙලාවේදී මම එයාට යන්න දුන්න... එයා හරිම අහින්සකයි... ඒ දේවල් එයාට දරා ගන්න බැරි වෙන්න ඇති... අයියෝ මේ ඔක්කොම මං හින්ද... මම එයත් එක්ක යාලු වුනේ නැත්තම් එයා අදත් ජීවත් වෙනවා... "
" තිමිර... ඔය දෙන්න යාලු වෙනකොට මේ ප්‍රශ්න තිබුනේ නෑනේ... පාරි කියන ඒවා ගණන් ගන්න එපා.. එයත් ඔයා වගේම අක්කට පුදුම ආදරෙයි... අක්කා ඔයාට කිව්වා කියමුකෝ.. ඔය දෙන්න මොනා කියලා කරන්නද... අනිත් එක ඒ මිනිහා දැන ගත්තොත් ඔයා දන්නවා කියලා ඔයාව මරනවා.. ඔයාට මොනවා හරි වුනා නම් අක්කට ඒක ඉවස ගන්න බැරි වෙනවා... එහෙම වුනා නම් අක්කට ඔයා තරම් වත් ඉවසන්න බැරි වෙයි...එතකොට මොකද වෙන්නේ...ඔයා England ගිය එකෙනුයි කවදාවත් අක්කව contact නොකරපු එකෙනුයි වෙච්ච ලොකුම දේ තමයි එයාල දුනී ගැන දැන නොගැනීම...එයාලත් ටික කාලයක් යන කල් අක්කා ගැන හෙවිල්ලෙන් ඉන්න ඇති..ඔයා මෙහෙ යන්න එන්න ගත්ත නම්.. ඔයා අක්කා ගැන හෙව්වා නම් එයාල දුනී ගැන දැන ගන්නවා.. එහෙම වුණා නම් මොනව කරයිද කව්ද දන්නේ...ඔය දෙන්නගේ තීරණ නිසා දුනී බේරුනා...පාරි මට කිව්වා අක්කා ඇත්තටම බයේ හිටියේ කියලා... එයා ඔයාට කතා නොකරන්න ඒකත් එක හේතුවක්..."
" අනේ මන්දා... මට තේරෙන්නේ නැහැ මොකද්ද මම කරන්න තිබ්බේ කියලා... "
තිමිර අත් දෙකෙන්ම මුණ උඩට පහලට පිහදා ගත්තා.
" ඔයාට ඔයිට වැඩිය දෙයක් කරන්න බැහැ ඉතින්.. " සචිත කිව්වෙ සනසවන හඬකින්.
තිමිර ඈතින් පේන අඳුරෙන් වැහුණු කඳු වැටිය දිහා බලා ගෙන ගොඩ වෙලාවක් කල්පනා කලා.සචිතත් නිහඬවම හිටියා.
" මට තේරෙන්නේ නැහැ කොහොම ජීවත් වෙන්නද කියලා... හශී මාව එපා වෙලා අත ඇරිය කියන එක මට දරා ගන්න පුළුවන් එයා මගේ ජීවිතේ රැක ගන්න මාව අත ඇරිය කියන එකට වඩා.. "
" ඔයාට ඔය දේ වුනානම් ඔයා කරන්නෙත් ඒකමයි.. එහෙමනේ " සචිත කිව්වෙ කල්පනාකාරීව.
තිමිර දිග සුසුමක් හෙලුවා. " ඒක හරි.. ඒත් මේ ඔක්කොම ඉවස ගන්න ඉතුරු වුනේ මමනේ "
"ඔයා කියන්නේ ඔයා මැරිලා මේ දුක විඳින්න අක්කා ඉතුරු වුනා නම් හොඳයි කියලද..."
" නෑ.. එහෙමත් නෙවේ... "
" ඕක කොහොම මොන පැත්තට හිතුවත් විසදන්න පුළුවන් දෙයක් නෙවේ.. "
" අනේ මන්ද... මට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ.. "
" ඔයා තනියම නෙවේනේ... දුවත් ඉන්නවනේ "
තිමිරගේ මුනේ දුක්බර හිනාවක් ඇඳුනා. "ඇත්ත... අපේ දුව ඉන්නවා.. "

සීත සෙවනැලි (Sinhala ) Completed Место, где живут истории. Откройте их для себя