34.

25 2 0
                                    

තිස්‌හතර වන සිත්තම

ඒ වසරේ ඉතුරු දින මම ගත කලේ කොහොමද කියලා මට අදටත් හරියටම පැහැදිලි මතකයක් නැහැ.
එක වතාවක් තිමිර අමායාට කිව්ව එයා නැත්තටම නැති වුනු කෙනෙක් තව නැති වෙන්න දෙයක් නැහැ කියලා.....
මම නැත්තටම නැති වුනේ ඊට ගොඩාක් කලින්...

ළඟදීම... ළඟදීම එයාව අහිමි වෙනවා කියන සිතුවිල්ල ජීවත්ව ඉඳිද්දීම මාව ඔත්පල කරලා මරණ මංචකයටම ඇදල දැම්ම... තිමිර නැති ඉදිරියක් දිහා මම බලන්නත් බය වුණා....

ඒත් මේ හැම දෙයක්ම හිතේ තද කරන් උදේ අවදි වෙලා ඉස්කෝලේ ගිහින් පන්ති ගිහින් සාමාන්‍ය විදියට හැසිරෙන්න මට සිද්ධ වුණා... තිමිර මගේ අභියස ඉද්දි එයත් එක්ක සාමාන්‍ය විදියට හැසිරෙන්න මට සිද්ධ වුණා....
උසස් පෙල පෙනී පෙනී තිබුනත්.... පොත පතේ වැඩ අසිහියෙන් වගේ සම්පුර්ණ කලත් කිසි දෙයක් මගේ මනසේ රැඳුනේ නැහැ... මේ හැම දෙයක් අතරම යෙහෙළියන්ට වෙනසක් හඳුනා ගන්න බැරි වෙන්න හැසිරෙන්නත් ඕනේ...
තිමිර එක්ක කතා කරන හැම වචනයක් ගානෙම... එයා මාව සිප ගන්න... තුරුළු කර ගන්න.. කොටින්ම එයාගේ සිරුරේ පොඩිම කොටසක් මගේ සිරුරේ ස්පර්ශ වුනත් මාව පිච්චුනා...පිච්චිලා පිච්චිලා මට මගේම අළු ටිකවත් හොයා ගන්න බැරි මට්ටමක තමයි අවූරුද්දේ මැදක් වෙන කොට හිටියේ.....
මට හිමි දේවල් වලට වඩා මට අහිමි වෙන්න යන දේ තමයි මගේ මුළු ජීවිතේම අත්පත් කර ගෙන හිටියේ....

ජුලි මාසේ මුල සෝමාගේ ස්වාමි පුරුෂයා හදිසියේ හර්දයාබාධයකින් මරණයට පත් වුණා.
සෝමාගේ ගම බලන්ගොඩ ... නැන්ද උදේම මම ඉස්කෝලේ යන කොටම පිටත් වුනේ මගේ අතට ගෙදර යතුර දීලා...
" මම එන්න රෑ වෙයි දුව... ඔයා කාල නිදා ගන්න. අවසන් කටයුතු වලට ඉන්නේ නැතුව එන්න බෑනේ...කොහොමටත් නවය දහය වෙන්න කලින් එනවා "
" මමත් ආවනම් හොඳද කියලා හිතෙනවා "
" එපා දුව.. විභාගෙත් ලඟයිනේ.. ඔයා කිව්වෙ මේ දවස් වල ටර්ම් ටෙස්ට් එකේ පේපර්ස් ඩිස්කස් කරනවා කියලනේ. ඔයා ඉස්කෝලේ යන්න "
ඉස්කෝලේ ඇරිලා එන ගමන් නැන්ද බලන්ගොඩ ගියා කියලා මම තිමිරට කිව්වා.
"නැන්ද එනකොට රෑ වෙයි "
"මම එන්නද හවස් වෙලා " තිමිර ඇහුවේ හිනා වෙලා.
" හා... " මට ඕන වුනෙත් පුළුවන් හැම වෙලාවකම එයත් එක්ක කාලය ගත කරන්න තමයි.... තව මාස දෙකයි .... තව මාස දෙකයි ...
තිමිර ආවේ හය කිට්ටු වෙලා....
" ඇයි පරක්කු වුනේ " මම දුවගෙන ගිහින් එයාගේ අතේ එල්ලුනා.
" නංගිව ක්ලාස් එකකට දාන්න තිබුන... ඉවර වෙලා එයාව ගෙදරට දාලා ආවේ "
තිමිර සෝෆා එකේ ඉඳ ගත්තා. මම එයාගේ එහා පැත්තෙන් ඉඳගෙන උරහිසට ඔළුව තියා ගත්තා...
ඒ උරහිසට ඔළුව තිබ්බම පුදුම සැනසීමක් දැනෙන්නේ...
තිමිර හෙමිහිට මගේ හිස පිරිමැද්ද...
මම කොහොමද ඔයාව අත අරින්නේ.... ඒකට මට ශක්තියක් තියෙයිද.... ඒත් මම ඒක කොහොම හරි කරන්න ඕනෙනේ.....නෑ... මම අද ඒක ගැන හිතන්නේ නැහැ... පස්සේ හිතනවා.. හෙට.... අද නෙවේ....හෙට....
"මහන්සිද ඔයාට... පාඩම් කරලා "
නෑ.... මට මහන්සි පාඩම් කරලා නෙවේ මට මහන්සි මට නැති වෙන්න යන ඔයා ගැන හිතල.... මට පාඩම් කරන්න බැහැ... මට මොකුත් කරන්න බැහැ....ඊළඟ මාසෙන් පස්සේ මම කොහොමද හුස්ම ගන්නේ....ජීවත් වෙන්නේ..
" ටිකක් විතර " පහුගිය මාස හයේ වගේම මම බොරු කිව්වා...
" තව ටික දවසයිනේ... ඊට පස්සේ ඔයා නිදහස්"
නෑ... නිදහස් නෙවේ මාව මැරෙනවා....ඔයාට තේරෙන්නේ නැහැ.... මාව මැරෙන්න යන්නේ...
එක සැරේටම මට කඳුළු ආවා.... මගේ ඔළුව ඇතුලේ පීඩනය මට දරා ගන්න බැරි තරම්....
කට තද කර ගෙන ඉකිය ගිල ගත්තට අත අරගෙන කඳුළු පිහින්‍න‍ ගියොත් එයාට තේරෙන නිසා මම එහෙම්ම හිටියා.....
ඒකෙන් වුනේ එක දෙයයි.... කඳුළු බින්දු කිහිපයක් එයාගේ ටී ෂර්ට් එකට වැටිලා රෙද්දට උරා ගත්තා...
" හශී.. මොකද මේ " තිමිර මගේ මුණ එයාගේ පැත්තට හරව ගත්තා. " ඇයි ඔයා අඬන්නේ පැටියෝ "
ඉතුරු කඳුළු.... ඉකි ගැසීම් මම හිර කර ගත්තා.
" විභාගේ ගැන හිතන කොට බයයි " ආයෙත් බොරු....
" පිස්සුද අනේ... විභාගෙට ඔච්චර බය වෙන්නේ. ඒක විභාගයක් විතරයි.අනිත් එක මේ සැරේ හරි ගියේ නැත්තම් අපි ආයි කරමු " තිමිර කිව්වෙ මගේ කඳුළු පිහ දාන ගමන්...
" මම මුණ හෝද ගෙන එන්නම් " මම එයාගෙන් ඈත් වෙලා උඩු මහලටආවා.ඒ ඇස් දෙකේ පිටාර ගලන ආදරය මට දරා ගන්න බැහැ.... ඒ ආදරය අහිමි වෙනවා කියන එක ඊට වැඩිය දරා ගන්න බැහැ....
දෝතට වතුර අරන් මුණ දොවන්න.. දොවන්න තවත් කඳුළු එනවා....උල්පතක් වගේ.....

සීත සෙවනැලි (Sinhala ) Completed Donde viven las historias. Descúbrelo ahora