16.

21 4 2
                                    

සීත සෙවනැලි

දහසයවන සිත්තම

අගෝස්තු නිවාඩුව කිට්ටුවට එනකොට තිමිර කන් කෙඳිරි ගාන්න පටන් ගත්තා.
" ඔයාව මාස එකහමාරක් විතර දකින්න නැති වෙනවා... කොහොමද මම ඉන්නේ.. "
" වෙනද හිටියා වගේම ඉන්න.. "
" වෙනද ඔයා හිටියේ නෑනේ.. මට කෝල් කරන්න පුළුවන් නේද.. "
" අම්මෝ එපා... අම්මට අහුවුනොත් ඉවරයි.. "
" අයියෝ.. එච්චර කල් කෝල් නොකර නම් ඉන්න බැහැ.. මම රෑ වෙලා කතා කරන්නම්.. "
"බලමු.. බලමු..."
අපි හිටියේ සාලේ. දෙවැනි මහලෙන් මනීෂා අක්කිගෙ අඩි ශබ්දය ඇහුන නිසා කතාව නවත්තන්න කියලා මම තිමිරට අතින් සන් කලා .
අක්කි පහලට එනකොට අපි දෙන්න හොඳ ළමයි වගේ පත්තර බලනවා.

" ඔයාගේ බර්ත්ඩේ එක ලඟයි නේද? "
අක්කි මගෙන් ඇහුවා.
උනන්දුවට තිමිරගේ කන් දික් වුනේ නැතුව විතරයි.
" ඔව්.. "
" කවද්ද? " තිමිර දන්නේ නෑ වගේ අහනවා.
" අගෝස්තු විසි පහ "
" මේ සැරේ මොනවද ඉල්ල ගන්නේ "මනීෂා අක්කි ඇහුවා.
"තාම හිතුවේ නැහැ..."
" ඔයා ඉතින් හැමදාම ගන්නේ පොත්නේ "
ඇත්තටම කිව්වොත් අවූරුදු කිහිපයක් තිස්සෙම මම ලබා ගන්න ආස දෙයක් තියනවා.. ඒ පොතක් නෙවෙයි..පොඩි බබෙක් තරමට ලොකු වලස් පැන්චෙක්... එයාල හරි ගණන්.... අඟ හිඟ කම් නොතිබුනත් ගුරු යුවලකගේ වැටුපෙන් ඒක ලොකු කොටසක්...
මම එකම සැරයක් නාවින්නේ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට ගිය වෙලාවක අම්මාගෙන් ඇහුවා මට ලොකු වලහෙක් අරන් දෙනවද කියලා.... ඒ දවස් වල ඒක තමයි පාට පාට සෙල්ලම් බඩු... ලස්සන ආයිත්තම් ගැවසුන සුපිරි වෙළඳ සැල...
" පිස්සුද දුවේ මේ පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු ගන්න... ඇරත් ගෙදර ඉන්නේ ටෙඩි බෙයාර්ල.. "
ගෙදර ඉන්න කට්ටිය පොඩියි.. මට ඕන වුනේ ලොකු එක්කෙනෙක්....
අම්මා ඒකේ මිල පරික්ෂා කලා කියලා මම දැක්ක...
කමක් නෑ... මම හිත හදාගෙන එතන හිටපු දුඹුරු පාට ලොකු වලහව අත ගාලා ගෙදර ආවා..

නිවාඩුව ඇරඹන්න කලින් දවසේ මම ගෙදර වැඩ කරමින් ඉන්න කොට කව්රු හරි දොරට තට්ටුවක් දැම්මා.
දොර ඇරියම... තිමිර...
ලොකු පාර්සලයක් අත් දෙකෙන්ම බදා ගෙන..
" මේ මොකද්ද? "
මම වගන්තිය ඉවර කරන්න කලින් එයා කාමරය ඇතුලේ.
" මේ සෝමා ඉන්නවා පහළ " මම දොරින් එපිටට එබිකම් කලා.
" සෝමා නිදි මං හිතන්නේ... පේන්න නැහැ.. මම බලලා ආවේ..නැන්දයි අර දෙන්නයි ගෙදර නැහැනේ.."
" අක්කිටයි, අයියටයි පන්ති.. ඔයා ගියේ නැද්ද?"
" මට සනීප නැහැ... "තිමිර දුක මුණක් හැදුවා.
" සනීප නැහැ... බොරු කියන්න එපා.. "
" ඔව්... මට දැන් සනීප නැහැ.. උණ වගේ.. හොඳ වෙන්නේ නිවාඩුවෙන් පස්සේ තමා " දුක්බර හඬකින් කියා ගෙන ගියා.
" ආ... මට තේරුණා... හිතේ ලෙඩ.. "
" ඔව් අනේ... කොහේද මට ලෙඩේ හදපු කෙනාට ගානක්වත් නැහැ.. එයා හොඳට ඉන්නවා.. "
" එයත් හොඳට ඉන්නවා නෙවේ... ඒත් කරන්න දෙයක් නැහැනේ.. ලෙඩා නැතුව එයාටත් පාළුයි.. "
තිමිරට හිනා ගියා. " එහෙනම් ඉතින් ලෙඩා කොහොම හරි ඉවසගෙන ඉන්නම්.. "
" මේ මොකද්ද? "මම පාර්සලය දිහා බැලුවේ කුතුහලයෙන්. පූංචි මල් මුද්‍රිත දවටනය ඇතුලේ මොකද්ද තියෙන්නේ...මෙයා මට කතා පොතක් ගෙනල්ලද... ඒත් පොතක් මෙච්චර ලොකු වෙන්න බෑනේ..
" බලන්නකෝ.. " තිමිර පොඩි එකෙක් වගේ හිනා වෙනවා.
මම පරිස්සමට සෙලෝටේප් පටි ගැලෙව්වා.
ටෙඩි බෙයාර් කෙනෙක්.... සුදු දුඹුරු මිශ්‍ර ලොම් පිරුණු ටීක් බෝල වගේ ඇස් තියන ලොකු හුරතල් වලස් පැන්චෙක්‌...
" හැපී බර්ත්ඩේ..ඔන්න මුලින්ම විශ් කලේ මම "

සීත සෙවනැලි (Sinhala ) Completed حيث تعيش القصص. اكتشف الآن