29.

19 2 0
                                    

විසිනවවන සිත්තම

පන්තිය ඉවර වෙනකල්ම මම හිටියේ අප්‍රසන්න විදියට ගැහෙන හදවතකින්. තිමරගේ අම්මගේ රුව මගේ හිතේ හොල්මනක් වගේ එහෙට මෙහෙට පාවෙනවා.
තිමිරට කියනවද... ඒත් කියන්න තරම් දෙයක් වුනාද...
"...මම මේ ප්‍රශ්න ගොඩාක් මැද බොහොම ඉවසීමෙන් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ. ඒක නිසා දෙයියනේ කියලා ඔය වගේ මොනවා හරි වුනහම හිතේ තියාගෙන ඉන්නේ නැතුව මට කියන්න." තිමිරගේ කට හඬ ඒ මැදින් ඇහෙනවා....
ඕන එකක් ඔන්න ඔහේ එයාට කියනවා.....
" මේ වෙන ලෝක වල ඉන්නේ නැතුව සර් කියන එක අහගෙන ඉන්නවද " මදාරා මට කෙඳිරුව.

අවසිහියෙන් සටහන ලියමින් හිටපු මම ඒ වචන වලින් මේ ලෝකෙට ඇද ගෙන වැටුනා.දැන් මේ ගැන හිත හිත හිටියා කියලා වැඩක් නෑනේ.. පන්ති ඉවර වෙලා තිමිර ආවම එයාට කියනවා.... මාත් ඉතින් වෙන කාට කියන්නද එයා ඇරුනම...

" මොකද හලෝ ඔයාට වෙලා තියෙන්නේ " පන්තිය අවසන් වුනු ගමන්ම ප්‍රභා ඇහුවා." මේ ලෝකේ සිහියකින් නෙවේ ඉන්නේ "
" එහෙම එකක් නැහැ. මම අහගෙන හිටියේ " ලැජ්ජාව වහ ගන්නත් එක්ක මම හිනාවෙලා කිව්වා.
" මේ තිමිර ගැන හිත හිත ඉන්නේ නැතුව පන්තියේ කියලා දෙන දේ අහ ගෙන ඉන්න " රුචි ටිකක්‌ තදින් කිව්වා.
තිමිර ගැන නෙවේ තිමිරගේ අම්මා ගැන හිතුවේ කියන්නයැ... මම රුචිව නිවැරදි කරන්න ගියේ නැහැ...නිහඬවම හිටියා.

මම සරසවිය ඉදිරියේ නතර වෙද්දී යෙහෙළියෝ ටික විසිරිලා ගියා.වෙනදට හැමදාම මම එනකොටම ඇවිත් ඉන්න තිමිර අද පරක්කුයි... ඇයි දන්නෑ... වැඩිපුර නින්ද ගියාද දන්නෑ... ඊයේ යාළුවො එක්ක හොඳ රෝන්දයක් ගහලනේ එන්න ඇත්තේ...මම අත් ඔරලෝසුව දිහා බැලුව... විනාඩි පහලවක් පරක්කුයි...
මෙච්චර වෙලා මේ පඩිපෙලේ හිට‍ ගෙන ඉන්නත් බෑ.... කට්ටිය බල බල යනවා...සරසවි එක ඇතුලට ගිහින් ටිකක් ඉඳලා එනවා...
සුභ පැතුම් පත් තියන රාක්කයට එළිමහන හොඳට පේනවා. වැඩකට නැතත් මම එතන රැඳී ගෙන සුභ පැතුම් පත් අත ගාමින්, පෙරලමින්, ඒවායේ මුද්‍රණය කරලා තියන පද වැල් කියවමින් කාලය ගත කලා. පැය භාගයක් විතර ගත වුණා... තිමිර තාමත් නැහැ... එයාට අමතක වුනාද.. ඒත් එයාට මාව එහෙම අමතක වෙන්නේ නෑනේ...
අම්මා ලෙඩක් දැම්මද දන්නේ නෑ...
මට එක සැරේටම එයාගේ ගිය අව්රුද්දෙ උපන් දිනය දවසේ වුන දේ මතක් වුණා.. අදත් අමායාවත් ඇවිල්ලද....
තවත් විනාඩි පහලවක් විතර ගියහම මට තෙරුනා මොකක් හරි හේතුවක් මත එයා එන්නේ නැහැ කියලා....
අම්මද.. අමායාද....
මගේම සිතිවිලි වල ගිලිලා මම සරසවියෙන් එලියට ඇවිත් 176 බස් නැවතුමට පාර පැන්න.ඒ අතරම මම ඇස් කරකව කරකව බැලුව එයා මේ හිස් ගොඩේ කොහෙන් හරි මතු වෙයිද කියලා... බස් දෙක තුනක්‌ මග ඇරලත් බැලුව... ඒත් නැහැ...
දැන් වෙලාව දොළහට කිට්ටුයි.. තවත් පහු වුනොත් නම් නැන්ද එනවා මාව හොයා ගෙන....
මම ඊළඟට ආපු බස් එකට නැග්ගා.
මෙයාට මොකද වුනේ... එකත් එකටම අම්මා මොකක් හරි බාල්දියක් දාන්න ඇති...අපරාදේ ඉඳලා ඉඳලා හම්බ වෙන්න තිබුන දවස...

සීත සෙවනැලි (Sinhala ) Completed Where stories live. Discover now