"අනේ අය්යෙ උඹේ බයිසිකලේ ගෙනත් දීපං මං හදලා දෙන්නම්. කලින් පාර ටයර් හිල් කරපුවගෙ ගානත් ගෙවන්නම්. ඒත් මේකව නම් අරින්න එපා! මගේ කෑලි හොයන්නවත් නැති වෙයි."
"ආ....... so you admit that this was the second time!
Very good!
You get 2 extra weeks now. So that would be a month.
Snowy....... come here boy!"එහෙම කියාගෙනම පුස් ඌරා කූඩුවෙ දොර ඇරියා.
මායි බල්ලයි දෙන්නා දෙපැත්තෙන් ඌරු තඩියගෙ ඇඟට පැන්නා. එක පාරටම ගැස්සිච්ච පාර ඌරු තඩියයි බල්ලයි කොල්ලයි තුන් දෙනාම බිමට වැටිලා පෙරලිලා ගියා.
බල්ලා නම් හූ තියාගෙන කොහොම හරි පැනගත්තා. මං තමයි ඌරු තඩියට යට වුනේ.
බුදු අම්මෝ මේකගෙ බර!
මූ නම් බත්, මාළු එහෙම කන එකෙක් වෙන්න බෑ. අලි මස්, ගල් ගෙඩි එක්ක අනාගෙන කන එකෙක් වෙන්නැති.හැබැයි එකාතකට මෙහෙම වෙච්ච එක හොඳයි. දැන් මට නිවී හැනහිල්ලෙ මැරිලා මේකව මිනීමරුවා විදියට හංවඩු ගහන්න පුළුවන්. සද්ද නැතුව මලා වගේම ඉන්න ඕනෙ.
"Little thief! Little thief!
නැගිටිනවා!"ඔන්න පුස් ඌරා වයින් වුනා. කොහොම හරි දත කාගෙන හුස්ම ගන්නෙ නැතුවම හිටියා නම් හරි.
"ඒයි කොල්ලො!
මොකද වුනේ?
නැගිටපං බං!"මූ මාව දමාගෙන හොල්ලනවා.
මං මැරිලා ඌරෝ!!!ඒත්...
හෑ!!!
මල කෙලියයි!
මූ මාව එක සැරේටම උස්සලා ගත්තානෙ. දැන් එතකොට මං කොහොමද ඉන්න ඕනෙ?
අතපය ගල් ගෙඩිවගේ තද කරගෙනද නැත්තම් පණක් නැතුව කඩා වැටීගෙනද?
හිතාගන්නත් බෑ.Assembly එකේදි කලන්තෙ දැම්මම කොල්ලො ඉන්නෙ අත පය පණ නැතුව වගේනෙ. එතකොට එහෙනම් මැරුනම ගල් ගෙඩි වගේ වෙන්නැති ඉන්නෙ. එහෙම හිටිය නම් හරි!
ඇස් දෙකත් පියාගෙනම මං ගල් ගෙඩිය වගේ ඉද්දි මාව වෙන කොහේදෝ තැනක බිමින් තිබ්බනෙ මේ හාදයා. යකෝ! මිනිහෙක් මැරෙන්න වැටිලා ඉද්දි අඩුම ගානෙ ඇඳකටවත් දාන්න ඕනෙ කියලා පොඩි කාලෙ කියලා දුන්නෙ නැද්ද අම්මලා තාත්තලා?
ජෝ.....ස්!!!!
"කැහ්! කැහ්! කැහ්!!"
දෙයියනේ මේ පුස් ඌරා මැරිච්ච මිනිහෙකුටවත් නිදහසේ ඉන්න දෙන්න දන්න එකෙක් නෙමෙයි.
මහා සුනාමියක් මැද්දෙන් මං පණ බේරගන්න දඟලද්දි ඌ ඉන්නවා බේසමක් විතර තඩි බාල්දියක් එකක් උස්සගෙන.
මොන මගුලක්ද මන්දා!