ඉතින් ආයෙම මං පාරට බැස්සා.
ඒ වුනාට කරන්නෙ මොකද්ද, යන්නෙ කොහෙද කියන එක ගැන කිසිම අදහසක් මට නෑ.
මං දන්න එකම දේ, මටත් බඩගිනි වෙනවා කියන එක. අව්වෙන් වැස්සෙන් කොහොම හරි බේරුනත් මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්න ලේසි නෑ කියන එක.
ඉතින් දැන් එක්කො මං තවත් පන්සලක් හොයාගෙන යන්න ඕනෙ. නැත්තම් සල්ලි ටිකක් හොයාගන්න විදියක් හදාගන්න ඕනෙ.හැබැයි ඒ මොකක් කරන්නත් කලින් මෙතනින් පුළුවන් තරම් ඈතකට යන්න ඕනෙ.
ඉතින් මං ඉස්සරහට හම්බුන පළවෙනිම බස් එකේ නැග්ගා.
ඒක ගිහින් ගිහින් නැවැත්තුවෙ පුංචි ටවුමක. මේ වගේ තැන්වල ඉන්න එක භයානකයි. මොකද මේ මිනිස්සු හැමෝම එක්කෙනාට එක්කෙනා අඳුරනවා. එතකොට මං වගේ පිටින් ආපු එවුන්ව ටක් ගාලා වෙන් වෙලා පේනවා.
දැන් මාව tv එකෙත් දාලා හොයන නිසා එහෙම වුනොත් මාව මේ මිනිස්සු අම්මලට අල්ලලා දෙයි.
ඒත් ඒක එහෙම වෙන්න දෙන්න බෑ මං මැරුනත්.
ඒ නිසා ලොකු town එකකට යන එක තමයි හොඳ. ඒ වගේ තැන්වල මිනිස්සු කොහොමත් එකාට එකා අඳුරන්නෙ නෑනෙ.ඉතින් මං තවත් දුර ගියා. අන්තිමේ හිතට හරියන town එකකට ආවම එතන නැවතිලා රස්සාවල් හොයාගන්න බැලුවා.
ඒත් ඒවා එහෙම හොයන්න ලේසි නෑ.
දවස්ගානක් බලාගෙන ඉඳලා ඉඳලා තමයි කඩෙකට බඩු අදින්න සෙට් වුනෙත්.
ඒත් උදේ ඉඳන් රෑ වෙනකල්ම කොන්ද කැඩෙනකල් බඩු ඇදලත් රුපියල් දෙසීයයි ලැබුනෙ.
ඒකෙන් එකවේලක අමාරුවෙන් කන්න පුළුවන් වෙයි. එතකොට ඉතුරු ටික?මං බඩගින්නට මිනිස්සු විසි කරලා යන කෑමත් කෑවා. වෙලාවට කෑම කඩේක අයියා කෙනෙක් එහෙම ඉතුරුවෙන කෑම මට වෙනම පිඟානකට දාලා කන්න දුන්නා.
උලත් එකයි පිලත් එකයි නිසා හොඳයි ඉතින් මට.
ඕනම තැනක ඕනෙම දෙයක් කාලා බීලා ජීවිතේ ගැට ගහන්න පුළුවන්.මේ කාලෙ පුරාවටම මට අයියට කෝල් එකක්වත් ගන්න ලැබුනෙ නෑ. කිසිම කෙනෙක් මට phone එකක් දෙන්න කැමති වුනේ නෑ. වැරහැලි ඇඳගෙන කුණු නාගෙන ඉන්න හිඟන්නෙක් ඉල්ලුවට මිනිස්සු phone දෙන්නෙ නෑනෙ කොහොමත්.
ඉතින් මටම සල්ලි හොයාගෙන phone එකක් ගන්න තමයි වෙන්නෙ.
ඒත් වැඩේ කියන්නෙ phone ගන්න තියා වේලක් ඇර වේලක් කන්න තරම්වත් සල්ලියක් මට නැති එක.