10 වෙනි ටැටූව

380 38 1
                                    

දුරුතු අයියත් එක්ක කෝල් එකේ ඉද්දී නින්ද ගියපු මං ආපහු රෑ 11.45 ට විතර ඇහැරුණා.ඒ වෙද්දිත් ගෙදර හැමෝම නින්දට ගිහින් හිටියා.මං ඇස් ඇරගෙනම කළුවරේ ඇඳට වෙලා කල්පනා කරන්න ගත්තෙ දුරුතු අයියා ගැන .එයා හරි පුදුම මනුස්සයෙක්.එයා මට ආදරේ ප්‍රකාශ කරපු විදිහ.ඒක හරිම ලස්සනයි ; ආකර්ෂණීය යි.මං ඒ ආදරේට හරි ලෝභයි.ඒත් මං ආදරේ විඳින්න බයයි.මහ රෑ වෙද්දී දාහකුත් සිතුවිලි මගේ මනස පුරාවටම සැරිසරද්දී මං දුරුතු අයියගේ ලෝකේ අස්සෙ අතරමං වුණා .හිත අස්සේ අපරිමිත ආදරයක් තියාගෙන ආදරේ නෑ වගේ ජීවත් වෙන්න පුළුවන් මොන මනුස්සයටද?ඒත් මං ඒක කළා.

" මට සමාවෙන්න දුරුතු අයියේ... "

මගේ හිත හැම තත්පරයක් ගාණේම කිව්වේ එච්චරයි .හීනි පොදයක් යාන්තම් පොළව තෙමෙන නොතෙමෙන ගාණට ඇද හැලෙමින් තිබුණා .මහ රෑ අවදියෙන් ඉන්න මගේ හිතට දාහකුත් සිතුවිලි නිමක් නැතුව ගලාගෙන එනවා.ඒත් ඒවා වචනවලට පෙරළන්න තරම් මගේ හිත හයිය නෑ.මං හිතන්නේ දුරුතු අයියගෙ හිත මට ළං වෙන්නත් ඉස්සර,මං ගැන හොයලා බලලා මට ආදරේ කරන්නත් ඉස්සර මං එයාට ආදරේ කරන්න ඇති.ඒත් ඒ ආදරේ වචනවලට පෙරළලා එයාට කියන්න තරම් හයියක් නැතුව මං මං ගැනම ලැජ්ජ වුණා .

ඇඳෙන් නැගිටපු මං ලයිට් ඔන් කරලා එහෙම්මම කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරලා බැලුවෙ කන්න මොනා හරි තියෙනවද කියලා .ඒත් ඒ වෙලාවේ මට සෙට් වෙන තරම් කිසිම දෙයක් ෆ්‍රිජ් එකේ තිබුණේ නෑ.ඒ හින්දා මං කෝපි කෝප්පෙකුත් හදාගෙන මාරි බිස්කට් පොඟවන් කන්න තීරණය කළා.මාරි බිස්කට් වලට මං එච්චර ආස නැතත් කෝපි බොද්දී මාරි කන්න මං ආසයි.ඒ හින්දා කෝපි කෝප්පෙකුත් හදාගෙන ,මාරි පැකට් එකත් අරගෙන මං හෙමින් සැරේ දොර ඇරගෙන වැරැන්ඩා එකේ පුටුවක වාඩි වුණා .ඒ හිරිපොද වැස්ස ගැන කියන්න වචන නෑ.හඳ එළියවත්,තරු කැටයක්වත් පේන්න නැති කළු අහස හරිම පාළු පාටයි .කහ පාට බල්බ් එකේ එළිය ක්‍රිස්ටිනා පඳුරු වලට වැටිලා හීනි පොද බින්දුත් එක්ක මාරම ලස්සනයි .ඒ වෙලාවෙ මට දැනුනේ කියලා නිම කරගන්න බැරි තරම් අමුතු විදිහක හැඟීමක්.ඒ හැඟීම සතුටක්ද එහෙමත් නැත්නම් දුකක් ද කියලවත් මට කියන්න තේරෙන්නේ නෑ.ඒ හැඟීම හරිම පුදුමාකාරයි.මේ වගේ වෙලාවකට මට හරියන්නේ හිත එක පාරටම පුච්චලා අළු කරලා දාලා ආයෙත් හීතල වෙන්න නිවලා දාන්න පුළුවන් විදිහේ සංගීතයක්.මං කාමරේට දුවලා ගිහින් පෝන් එකත් අරන් ආපහු වැරැන්ඩා එකට ඇවිත් සුපුරුදු පුටුවේ වාඩි වුණා .වචනයක් වචනයක් පාසා හිත පාරවන්න වගේම කැඩිලා බිඳිලා සුන් වෙලා ගිය හිතක් ආපහු හදන්නත් පුළුවන් විදිහේ සිංදුවක් මං ප්ලේ කළා.

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now