52 වෙනි ටැටූව

127 8 0
                                    


ඉක්මනට වගේ වුණත් හරි ලස්සනට ඒ අවුරුදු දවස ගෙවිලා ගියා. ස්වේත් අයියා , ත්‍රිශූල් , මන්දිර් අයියා තුන්දෙනාම එදා රෑත් අපේ ගෙදර නතර වුණා . ඒ දවස් හරි ලස්සනයි . ලස්සන ලස්සන මතකවලින් පිරුණු හරි අපූරු දවස්. ජීවිතේ පුදුමාකාර මතක තියෙන්නේ අල්පයක් විතරයි .ඒ දවස් මං නම් කරන්නෙත් එහෙම පුදුමාකාර මතක පිරුණු දවස් විදිහට . ඒ තරමටම මං ඒ දවස්වලට ආදරෙයි.

එදා රෑ අපේ ගෙදර නතර වුණු ස්වේත් අයියා , ත්‍රිශූල් , මන්දිර් අයියා තුන් දෙනාම වගේ මාත් හිටියේ පුදුමාකාර සතුටක් හිත අස්සෙ හංගගෙන . ස්වේත් අයියලා එද්දි ගෙනාපු රතිඤ්ඤා නම් බොහෝ දුරට ඉවර වෙලා . හැබැයි නිලා කූරු , බමර චක්‍ර , අහස් කූරු එහෙම නම් ගොඩාක් තිබුණා . දුරුතු අයියා චූටි පැටියවත් වඩාගෙන ඉස්තෝප්පුවට ගියේ ස්වේත් අයියලා ලස්සනම ලස්සන ගිනි කෙළි සංදර්ශනයක් පෙන්නන්න යන හින්දා . ස්වේත් අයියා බමර චක්‍රයක් අරන් බිමෙන් තියලා පත්තු කළා. ලස්සනම ලස්සන එළියකුත් විහිදාගෙන ඒ බමර චක්‍රය කැරකෙන්න ගත්තේ චූටි පැටියගේ මූණේ හිනාව දෙගුණ තෙගුණ කරමින්.

" තාත්ති...සෝයි...තාත්ති අල..."

චූටි පැටියා මූණේ අව්‍යාජනීයම වූ ලොකුම ලොකු හිනාවක් පුරෝගෙන කෑ ගහනවා. බමර චක්‍රය ඉස්තෝප්පුවේ වටේට කැරකෙද්දි චූටි පැටියට හරි හිනා. එයා චූටි අත් දෙකෙන් අත් පොඩි ගහනවා. දුරුතු අයියා පැටියව වඩාගෙන ස්වේත් අයියා බමර චක්‍ර පත්තු කරන හැටි පෙන්නනවා.

කවදාවත්ම අපිට ආයෙමත් දවසක එකට සතුටින් කාලය ගෙවන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතුවෙ නෑ. මං කියන්නේ අපි හැමෝටම එකට ඉඳගෙන සතුටින් ඉන්න මොහොතක් එයි කියලා මං කවදාවත්ම හිතුවේ නෑ. ඒත් දෛවය විසින් අපිට එහෙම මොහොතක් උදා කරලා දුන්නා. ඉතින් ස්තූතියි දෛවය දැන හෝ නොදැන අපිට එහෙම මොහොතක් උදා කරලා දුන්නට. දැන හෝ නොදැන අපේ හිත්වලට සතුට අරන් ආවට.

අහසේ ලස්සනට හඳ පායලා තිබුණා . තරු කැට පේළි පේළි රංචු ගැහෙමින් හඳ වටා එක් රොක් වෙලා . හරියට පාළු මකන්න වගේ. කණාමැදිරි එළි කීපයක්ම ගේ ඉස්සරහ කුඹුරු වෙලේ ඒ මේ අත නිදැල්ලේ පියාඹනවා පෙණුනා. අමුතු සුවඳක් මුළු මිදුල පුරාවටම පැතිරිලා. අසෝක ගහ යට අවුරුදු ගොට්ටේ අවුරුදු කුමාරයා වෙනුවෙන් වෙන් කරපු කිරිබත් කෑල්ලයි, කෝඳුරු කැවුමයි කහ පාට බල්බ් එළියට යාන්තමට පෙණුනා. දුරුතු අයියයි, මමයි, චූටි පැටියයි, ත්‍රිශූල් , මන්දිර් අයියා, ස්වේත් අයියා අපි හැමෝම ඉස්තෝප්පුවට වෙලා බලන් හිටියේ ඒ අහස දිහා. අරන් ආපු අහස් කූරු ටික පත්තු කරන්නයි ස්වේත් අයියයි , මන්දිර් අයියයි දෙන්නා ලෑස්ති වුණේ . චූටි පැටියා මුලින් මුලින් බය වුණාට ටිකෙන් ටික ඒ බය නැති වෙලා ගිහින් බමර චක්‍ර , අහස් කූරු පත්තු කරන හැටි බලා ඉන්න පුදුමාකාර විදිහට ආසාව. ඉතින් ස්වේත් මාමියි, මන්දිර් මාමියි දෙන්නා චූටි පැටියට පේන්න මිදුලට වෙලා අහස් කූරු පත්තු කරනවා. චූටි පැටියා තාත්ති එක්ක ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා.

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now