45 වෙනි ටැටූව

144 12 2
                                    

ඇත්තමයි , ගෙවෙන හැම තත්පරයක්ම හරි වේගෙන් ගෙවෙන්නේ. කාලය ඉක්මනට ගෙවිලා ගිහින් හැම මොහොතකම අලුත් නිමේෂයක් උදා වෙනවා. දුරුතු අයියා  , මම  , චූටි අනිමිස පැටියා අපි තුන්දෙනාම ඒ නිමේෂයක් ගානෙම අලුත් ලෝකයකට පිවිසෙමින් හිටියා. තත්පරයක් තත්පරයක් ගානේ අපි අලුත් වෙනවා. අපේ පවුල විතරක් නෙවෙයි . මේ ලෝකේ හැම මනුස්සයෙක්ම, හැම හදවතක්ම උදා වෙන නිමේෂයක් තුළ අළුත් වෙනවා.  ඒකයි ලෝක ස්වභාවය . ඒත් ඒ හැම මොහොතකටම අපි මුහුණ දෙන්න ඕනි. ඒ උදා වෙන නිමේෂයන් ලස්සන වුණත් නැති වුණත් අපිට ඒ නිමේෂයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි.

ඒ උදා වුණේ ජූලි මාසය. කාලේ හෙමින් හෙමින් හෝ වේගෙන් හෝ ගෙවිලා ගිහින් උදා වුණේ ඇසළ මාසය. ඇසළ මාසය කියන්නේ මුළු සබරගමුවටම සශ්‍රීකවත් කාලයක් . සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් දුරුතු අයියට නටන්න ආරාධනා ආවෙත් ඒ කාලෙදිමයි. මුලදි මුලදී දුරුතු අයියා පෙරහර මංගල්‍යයේ නටන්න අකමැති වුණත් පස්සෙ පස්සේ මං කියපු හින්දම එයා නටන්න කැමති වුණා .

" අනේ මට බෑ සුදු මැණික..."

" අනේ දුරුතු අයියේ... එහෙම කරන්න එපා. අනේ යන්නකෝ දුරුතු අයියේ. මං ආසයි ඔයා පෙරහැරේ නටනවා බලන්න . "

" ඒත් සුදු මැණික, රෑ හතරක් පහක් එක දිගට නටන්නෙ කොහොමද අනේ? අනික ඔයයි, පැටියයි තනියමනේ. ඉතින් මං කොහොමද පෙරහැරේ නටන්නේ? "

දුරුතු අයියා කිව්වා.

" කවුද අයියෝ තනියෙන් ඉන්නවා කිව්වේ. මායි  , අනිමිසයි දෙන්නත් එනවා තාත්තා පෙරහැරේ නටනවා බලන්න "

මං කිව්වේ ටිකක් ආඩම්බරකාර විදිහට .

" ඒ සිරාවටම ?"

දුරුතු අයියා ඇහුවේ මගේ මූණට එබිකම් කරලා.

" සිරාවටම තමයි...මං ආසයි ඔයා පෙරහැරේ නටනවා බලන්න . ඒක මං දැක්ක හීනයක්. හැබැයි මං කවදාවත්ම හිතුවෙ නෑ අනිමිස වගේ චූටි පැටියෙකුත් වඩාගෙන ඔයා පෙරහැරේ නටනවා බලන්න පුළුවන් වෙයි කියලා . ඒත් මට සතුටුයි. අපේ චූටි පැටියත් එක්කම ඔයා පෙරහැරේ නටන හැටි බලන්න පුළුවන්නේ. ඉතින් දුරුතු අයියේ, කොහොම හරි ඔයා සමන් දේවාල පෙරහැරේ නටන්න ඕනිමයි. ඒ හැම රෑකම ඔයා නටනවා බලන්න මමයි, චූටි පැටියයි දෙන්නත් එනවා. අනිවාරෙන්ම ..."

කළු පාට ටැටූ ✔ Where stories live. Discover now