සුදුපාට රෝස පෙති අස්සෙන් බේරිලා වැටෙන ලා ඉර එළිය මගේ දුහුල් කමිසය උඩ රත්තරන් පාටින් රටා මැව්වා... මගේ ඇස් තිබුනේ මගේ දිහාට එබිලා හිනාවෙන සුදු රෝස මල් මත... රවුමට හිටවපු රළු ගොරෝසු සිමෙන්ති කණු දිගේ එති එතී ඉහළට ඇඳුනු සුදු රෝස වැල්වල කටු සිමෙන්ති කණු මත පොරබදද්දි ඒ යුද්ධය ගැන හාන්කවිසියක අදහසක් නැති සියුමැලි රෝස පොහොට්ටු රන් පාට ආලෝක කදම්භයක පළමු සිපුමෙන්ම පෙති විදහන්න අරන්... තම තමන්ගේ රූප සොබාව ගැන හරි හරියට උජෝ වඩන මේ රෝස කැකුලියෝ හෙට දිනේ ඉර උදාවත් එක්කම මේ පොළොව සරසාවි... මේ පොළොව මත තියෙන කහට ගැහුනු සුදු රෝස පෙති උන්ට පුන පුනා මේ ලෝක සොබාව ගැන විත්ති කියෙව්වත් රූපයෙන් උදම් අනන උන්ට කොයින්ද කහට ගැහුනු පෙතිවල හඬ අහන්න කාලයක්...
මණ්ඩපය මැද වැතිරිලා රෝස වැල් අතරින් පේන අහසේ වළාකුළුවල රටා හොයපු මට හුළං රැල්ලක දැවටිලා ආපු සිලම්බු හඬක් ඇහුනා... කමිසය මත රටා මවපු ලා හිරු එළිය මගේ දෑස් මතට වැටෙද්දි මම ඇස් පියාගත්තේ සිලම්බු වදින තාලයටම පොළොවේ රටා මවන ලස්සන කකුල් දෙකක් මගේ හිතේ ඇඳෙද්දි... උඩරට තාලෙට හරි හරියට පාද තියන මැණිකේ එක්ක ආලෙන් වෙලෙන සුදු මහත්තයෙක්... ඒ දිහා ආදරයෙන් බලන් ඉන්න කොලු ගැටයෙකුත් මගේ මනසේ ඇඳුනා... ඇන්ඩර්සන්ගේ වචනවලට මගේ හිතේ චිත්‍ර ඇඳෙද්දි හදවතේ කොණකින් පටන් ගත්ත වේදනාවක් මගේ මුලු සිරුර පුරාම දුවන්න ගත්තා... ඇන්ඩර්සන්ගේ වචන බිඳෙන හඬ සියුම්ව මගේ කන සිබිද්දි ඔහුගේ වේදනාව මගේ හදවතට කාන්දුවුනා...
මෙච්චර වෙලාවක් කතා කියපු කටහඬ නිහඬ වෙද්දි මම ඇස් අරින්න හැඳුවත් ඇස් උඩට වැටුනු ඉර එළිය මට ඒකට ඉඩ දුන්නේ නෑ... පියවුනු ඇස් මතට වැටෙන ඉර එළියේ උණුහුම නැතිවෙද්දි මම මගේ ඇස් විවර කලා... මම දකින්න ආසම කොළ පාට මගේ ඇස් කෙලින් හිනාවෙනවා... මගේ මූනෙ හිමි හිමීට හිනාවක් ඇදෙද්දි ඇන්ඩර්සන් මගේ දෙතොල් මතින් සිපුමක් තියන්න නැමුනත් ඔහුගේ නිකට මගේ නහයේ ඇනුනා... ඔහු ඉන්නේ මගේ හිස කෙළින් ඇණ තියාගෙන... මේ ඈන්ගල් එකට කිස් කරන්න අමාරුයි කියලා මේ නාකියාට තේරෙන්නේ නැති හැටි... ඇන්ඩර්සන්ගේ මූන අයිස්ක්‍රීම් එක අතින් ඇතෑරුනු පොඩි එකෙක්ගේ වගේ වුනත් මම ඒ ගැන හිතන්නේ නැතුව ආයෙත් අහස දිහා බැලුවා... මම බලාපොරොත්තු වෙන වචන කීපය ඇන්ඩර්සන්ගේ කටින් පිටනොවුනු නිසා මම ඉන්නේ ඇන්ඩර්සන් එක්ක තරහාවෙලා... තරහාවුනත් ඉතින් එයා මට විතරක් කියන පුංචි පුංචි කතන්දර නම් කහටක් නැතුව අහගෙන ඉන්නේ... නිතර පොත් කියවන නිසාදෝ මට ඒ හැම වචනයක්ම චිත්‍රපටියක් වගේ හිතේ මැවෙන්න අරන්...
YOU ARE READING
Cecropis
Mystère / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..