දැන් වෙලාව හවස හයට විතර ඇති. අපේ ගෙදර එකම යුද්ධයයි. දැන් මං මේ පැයක් තිස්සෙ ඉඳන් නුදේන් අයියලගෙ දිහා යන්න ඇඳුමක් තෝරනවා. කබඩ් එකේ තිබ්බ සේරම ඇඳුම් ඇදලා ඒ ටික ඔක්කොම බිම. අම්මා එහෙම දැක්කොත් මට කන්න වෙන්නෙ කොසු පාර තමා. ඇඳුම් කබඩ් එකම ඇද්දත් මගේ හිතට සැටිස් ඇඳුමක් මට තාම හම්බුනේ නෑනේ අප්පා...ම්හ්ක්...
"චූටි !... මොකද ළමයෝ මේ ඔක්කොම ඇඳුම් ටික ඇදලා ආහ් !..."
"අනේ අම්මේ... මට අඳින්න ඇඳුමක් නෑනේ අප්පා..."
"චූටි ! මඟුල් ගෙදරකට නෙවෙයි යන්නෙ ඩිනර් එකකට..."
"හරි හරි අනේ කෑගහන්නෙ නැතුව මට ඇඳුමක් හොයලා දෙන්නකො අප්පා..."
"අම්මා !... අනේ මේ ගවුම අයන් කරලා දෙන්නකො.."
"පොඩ්ඩක් ඉන්න ලොකූ..."
"අනේ අක්කෙ ඉන්නවකො පොඩ්ඩක් අම්මට මුලින් කතා කරේ මම නේ..."
"මල්ලි මේ තමුසෙ මොකා බලන්නද ඔච්චර හැඩවෙන්නෙ... අම්මේ අනේ එන්නකො..."
"අයියෝ ළමයි !! පොඩ්ඩක් කෑගහන්නෙ නැතුව ඉන්නකෝ... මේ ළමයින්ගෙ වගේ සද්දයක් නැතුව ඇති මේ අහල පහල ගෙවල් එකකවත්..."
"ඒකනේ අම්මේ නේ.. කිසි ගතියක් නෑ ඒ ගෙවල්වල"
"චූටි ! මගෙන් ගුටි කන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාගෙන එනවා..."
"හේ හේ කෑගහන්න එපා අම්මියෝ ඉතින් ඉක්මනට වයසට යයි ඔයා..."
"චූටි පුතා !!..."
අම්මවත් පොඩ්ඩක් අවුස්සලා මං කෙලින්ම පැනගත්තෙ බාතෲම් එකට. නැත්තම් තව ටික වෙලාවක් ඔතන හිටියනම් මට ගුටි කන්න තමා වෙන්නෙ. බාතෲම් එකට ඇවිත් හොඳට නාගෙන කාමරේට එබිලා බැලුවේ අම්මා පේන්න ඉන්නවද කියලා. හොඳ වෙලාවට අම්මා කාමරේ නෑ නැත්තම් මේ හවස් වෙලා නෑවා කියලා මට බැනුම් අහගන්න වෙනවා. කාමරේට එද්දි අම්මා ඇඳුම් දෙකක් තෝරලා ඇඳ උඩින් තියලා ගිහින්. මේ ඇඳුම් දෙක කොහෙද දන්නෑ තිබ්බෙ මං බලද්දී මෙහෙම එකක් තිබ්බෙ නෑනේ. මං ඉතින් අම්මා තෝරලා තිබ්බ නිල් පාට හුඩී එකයි සුදු පාට ඩෙනිම් එකයි ඇඳගෙන තියන සබ්බ සකලමනාවම ඇඟේ මූණේ උලාගෙන පහලට ආවා. මොනා උනත් ලස්සනට සුවඳට යන්න එපැයි පලවෙනි වතාවටනෙ එයාලගේ දිහා යන්නෙ. ඒ උනාට මං ඔය ගල්බමුණත් එක්ක තරහයි. එපා කියන දේමයි කරන්නෙ...