ගොඩ වෙලාවකට පස්සෙ හැමදේම තිබ්බ වගේම නිස්සද්දයි....දැන් ඇහෙන්නෙ හුළඟෙ සද්දෙයි අපි ඉන්න තැන තියෙන කොහොඹ ගහේ කොළවලින් එන සිලිසිලි සද්දෙයි විතරයි.මං තාමත් ඇස් වහගෙන මගෙ ලොකූගෙ උකුලෙ....මට බයයි ඇස් අරින්න... මං බයයි ලොකූගෙ ඇස්වල කඳුළු දකින්න...!
"මගෙ බඩේ සුවඳ බැලුව ඇති මද්දු... දැන් ඇස් ඇරපන්.උඹ ඔය ඇස් වහන් ඉන්නෙ මං අඬනව ඇති කියලනෙ..."
"නෑ මං නිදි..."
"එතකොට ඔය කතාකරන්නෙ කොහොමද ...? "
"හීනෙන්"
"හැමෝටම හොරෙන් අවුරුදු ගාණකට කලින් මං ඇතිවෙන්න ඇඬුව මද්දු... දැන් මට මේක හුරුයි.දුකයි තමයි ඒත් දරාගන්න පුළුවන් දැන්. කෝ නැගිටපන් අපි අනාථ කඳුවුර පැත්තෙ යමු... මාමව බලන්නත් එපෑ...."
ලොකූ ඒක කියද්දිම මං ක්ෂණිකව නැගිටල ලොකූව හිරකරල බදාගත්තෙ දරාගන්න බැරි දුකකින්....
"මට සමාවෙයන් ලොකූ.උඹ වෙනුවෙන් මට වෙන කරන්න දෙයක් නෑ...! කාලෙ ආපස්සට යන්න පුළුවන්නං මං උඹේ ජීවිතේ ආයෙමත් උඹට ගෙනත් දෙනව මගෙ අයියෙ.... ඒත් මට ඒක කරන්න බෑ මගෙ අයියෙ...."
"මස්සිනා... මේන් මේකා මට අඬන්න එපා කියල අඬනව.උඹ කිව්ව හරි මූට කැප්ටන්කම දීල තියෙන්නෙ වැරදිලා.."
"ඌ විතරක් නෙවෙයි අයියෙ අඬන්නෙ. උඹේ මස්සිනත් අඬනව..."
රජිතුත් එහෙම කියාගෙන ඇවිත් ලොකූව බදාගෙන ඇඬුව.එතකොටනං ලොකූටත් ඇඬුන.... කොච්චර නෑ කිව්වත් මගෙ අයියගෙ හිත අස්සෙ තියෙන වේදනාව මට අඳුරගන්න පුළුවන්... ලොකූව බදාගෙන ලොකූගෙ ඔළුව ඉඹ ඉඹ සෑහෙන්න වෙලාවක් අපි ඒවිදිහට ගල උඩම හිටියා....
"අඩෙ අප්පා වික්රම් පුතා...!! මං ඒත් සෑහෙන්න වෙලා ඈත ඉඳන් බලන් හිටියා කවුද මේ කඩේ ගාව ඉන්න ආමි එකේ මහත්තුරු කියල...? කවුදෑ අප්පා මේ බදාගෙන ඉන්නෙ...? "
ඒ සද්දෙට මං මෙච්චර වෙලා වහගෙන හිටපු ඇස් ඇරල බැලුවෙ කවුද මේ එකපාරටම ලොකූගෙ නම කියල කතාකරේ කියල බලන්න.... විටකුත් කාලා අපි ඉස්සරහ කහට බැඳිච්චත් දත් පෙන්නගෙන හිනාවෙවී හිටියෙ අවුරුදු හැටකට කිට්ටු ඇති කියල හිතන්න පුළුවන් මනුස්සයෙක්.....
