මුලදි මම මේ ඒකකයේ හිටියේ තනියෙන් , අහම්බෙන් වගේ මං වගේම ප්ලෝයම ශෛලම මාරු වුණ තව පතොක් පැළයක් අපේ ඒකකයට ආවා.
එයා මට වඩා උනන්දුයි. තුවාලවලට බේත් දාන්න හරි කැමැත්තෙන් යන්නේ.ඔහොම ටික දවසක් යද්දි එක සීයා කෙනෙක් බේත් දාන්න මේ චූටි පතොක් පැළයම හොයන්න ගත්තා...
"අද චූටි නෝනා නැද්ද?" එයා පේන්න හිටියේ නැත්තම් සීයාට හිතට අමාරුයි.
"සීයට අපි බේත් දාලා හරියන්නේ නෑනේ" මිසීලත් ඉතින් සීයා එක්ක එල්ලෙනවා.කාලයක් ගියා, ආයිත් කොවිඩ් රැල්ලක් ආවා. මාත් එක්ක හිටිය පතොක් පැළේට කොවිඩ් සටනට යන්න සිද්ධ වුණා.
ඉතින් සායනයේ ආයෙමත් මම විතරයි.
හැමදාම චූටි නෝනා හොයාගෙන එන සීයා හරිම දුකින් මිස්ලට කියලා බේත් දාගෙන ගියා."චූටි නෝනා කෝ?"
"චුටි නෝනා කොරෝනා වාට්ටුවේ"
"ආය එන්නෙ නැද්ද?"
" දැන්ම එන එකක් නෑ"
"කොහෙද ඒ වාට්ටුව තියෙන්නේ ?"
අපේ වැඩ කරන ළමයෙක් වැඩිය හිතන්නේ නැතුව වාට්ටු අංකය සීයාට කිව්වා.ඊළඟ සතියේ සීයා ඇවිත් කියපු දේ අහලා අපි පුදුම වුණා.
"මම ඒ වාට්ටුව ළඟ බලා හිටියා, චූටි නෝනා හම්බ වුනේ නෑ"
"අනේ සීයා ඇයි ඒ වාට්ටු පැත්තේ ගියේ, සීයත් හදා ගන්නවා කොයි වෙලේ හරි" අපි සීයට තරවටු කළා.සීයට බේත් දාලා ඉවර වුණ මිස් හිමින් සැරේ මගේ ළඟ ඇවිත් කිව්වේ හරිම සංවේදී කතාවක්...
"සීයගේ දුවෙක් හිටියලු, අවුරුදු දාහතරෙන් නියුමෝනියාවක් හැදිලා නැති වුණාලු. සීයා හිතන්නේ එයා ජීවත් වුණා නම් අර ඩොක්ටර් වගේ ඉඳීවි කියලා. එයාව දකින කොට සීයට දුව මතක් වෙනවලු. ඒකයි ඔය හැමදාම ඇවිත් අහලා තියෙන්නේ "
අහිමි වුණ දුවෙක් තාත්තෙක්ගේ හිතේ හැමදාම ජීවත් වෙනවා. සීයා හැමදාම ඇවිත් තියෙන්නේ ඒ තුවාලේ හොඳ කරගන්න මිසක් කකුලේ තුවාලෙ හොඳ කරගන්න නෙවෙයි. සති කීපයක් යද්දි සීයාගේ ක්ලිනික් පැමිණීම අක්‍රමවත් වුණා. අන්තිමට එන්නෙම නැතුව ඇරියා.
දරුවෝ දෙමව්පියෝ අතරේ බැඳීම වගේ අරුම පුදුම නොබිඳෙන බැඳීම්වල සුවඳ ඉඳල හිටලා මේ කාෂ්ටක කාන්තාරයේ විඳින්න ලැබෙනවා මේ විදියට...
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵