25. XX වාට්ටුව

87 18 19
                                    

සහෝදරී පතොක් assisting ගිය නිසා ලද විවේකයේ අකුරු කර තබමි.

අද ශල්‍යාගාර ලැයිස්තුවට ඊයේ සිටම හැඬුවේ කණකොකාය. ඒත් කෙසේ හෝ යුධවදින්නට අපි ඒ වන විටත් තීරණය කර සිටියෙමු.

සෙනසුරාදා කරන ශල්‍යකර්ම සඳහා රෝගීන් ඇතුලත් කරගත්තේ බ්‍රහස්පතින්දා වන අතර ලැබෙන පැය හතරක ශල්‍ය කාලය තුළ කෙසේ හෝ අවසන් කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව රෝගීන් තිදෙනෙක් ගෙන්වා ගතිමි.

එක රෝගියෙක් ගේ කායික රෝගවල ඇති ප්‍රශ්න නිසා , නැවත හරවා යවන්න සිද්ධ වුණා. ඉතුරු දෙන්නයි... අලුතෙන් තව ලෙඩෙක් ගෙන්න ගන්න එදා වෙලාව මදි. අන්තිමට කෝල් කරලා එක ලෙඩෙක් කැමති කරව ගත්තා. ඒත් එයා ආවේ සිකුරාදා. අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය PCR එක. ඒක නැතුව් ශල්‍යාගාර ඇතුලට ගන්න බෑ කියන්න ඉඩ තියෙනවා .

කොහොම හරි ඊයේ උදේ 9.45ට ගත්ත pcr සාම්පලය, අද උදේ වෙනකනුත් වාට්ටුවේ මේසයක් උඩ...

ඇයි මෙහෙම වෙන්නේ. සාම්පල් ප්‍රවාහනය වාර්තා ගෙන්වීම සහ ඒවා ඇඳ ඉහපතට ඇතුලත් කිරීම සඳහා වෙනම සේවක කණ්ඩායමක් ඉන්නවා. හැම එකම අපිට කරන්න අමාරුයි. ඒත් ඇයි වගකීමක් ගන්න බැරි.

සාම්පල් යැවීම කෙසේ වෙතත් වාට්ටුවට අපේ රෝගීන් ඇතුලත් වෙද්දි නම් ඉතා වේගයෙන් මොළය ක්‍රියාත්මක වෙනවා. මේ අහවල් ඒකකයේ ලෙඩ්ඩු අපේ ලෙඩ්ඩු නෙවෙයි කියලා මිලිතප්පර ගානට මීටර් වෙනවා. ඒත් අතට ගෙනත් දුන්න සාම්පලය යවන්න බෑ.

ඉතින් මේවා කාට කියන්නද... යන්තම් රැපිඩ් රිපෝර්ට් එක නෙගටිව් නිසා ශල්‍යකර්මය කරගන්න පුළුවන් වුණා. ඒත් එහෙම නොවී ලෙඩාව හරවලා යවන්න වුණා නම්....

මේ තමන්ගේ ගෙදර ලෙඩෙක් නොවනතාක් කල් ඔවුන් එසේ වනු ඇත. මට ඇත්තටම මේ ප්‍රදේශවාසීන් ගැන දුකයි. ඒත් කරන්න දෙයක් නැත.

අනෙක් වාට්ටුවේ ඊයේ උදේ ලියපු රුධිර සාම්පල් වල වාර්තා අද උදේ වන විටත් නැත. ගියපු සාම්පලයක්ද නැත, යවන සාම්පල් ලියන පොතේ ලෙඩාගේ නම ලියා , නැවත තනි ඉරකින් කපා ඇත.
ඒවාට වෙච්ච දෙයක් නැත.

මෙහෙම හැමදාම වැඩ කරන්න ඇත්තටම අමාරුයි . උදේ 7.45 වෙනකොට ශල්‍යාගාරයේ පෙනී සිටින්න අපි කලින් දවසේ ඉඳලා ප්ලෑන් හැදුවේ. ඒත් අන්තිමට රිපෝර්ට් හොයන්න එහෙමෙහෙ දුවන්න වුණා.

අපි වගේම තව අසරණ වුණ ඒකකයක් තියෙනවා , එයාලටත් වාට්ටුවක් නෑ. උදේ බලනකොට ඒ ඒකකයේ තුන්දෙනත් ශල්‍යාගාරයේ ඉන්නවා මූණු එල්ලගෙන.
මම ඇහුවා " ඔයාලටත් xx වෝඩ් එකෙන් ගේමක් දුන්නද " කියලා නිකමට.

" අපේ ලිස්ට් එක යවලා නෑනේ ඒකෙන්" ඔන්න උත්තරය. (ගල් වුණ ලිස්ට් එක කතාව මතක ඇතැයි සිතමි, ඔව් ඔව් මේ ඒ වාට්ටුවම තමයි)

අපිට මෙහෙම කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ.

මොනවා වුණත් පහුගිය දවස්වල පිංකමකට කියලා නම් හරියට වෙලාවට කලාවට ආධාර එකතු කිරීමක් ඒ වාට්ටුවෙන් ලස්සනට සිද්ධ වුණා. ඒකට ආධාර නොදුන්නොත් අපේ ලෙඩ්ඩුන්ට බලන්නේ නෑ වගේ කතාවකුත් එහෙන් මෙහෙන් කියවුණා.

ඔය ලංකාවේ ලොකුම, දකුණු ආසියාවේ ලොකුම වගේ කොන්ක්‍රීට් වනන්තර වෙනුවෙන් වැය කරන මුදල්වලින් බැරිද අපිට ශල්‍යාගාරයක් හදලා දෙන්න..... මේ තරම් පිං රැස් කරන මිනිස්සුන්ට ලෙඩෙක්ගේ සාම්පලය වෙලාවට යවලා, ශල්‍යකර්මය වෙලාවට කරවලා ලෙඩා ගෙදර යැවීමෙන් පිං ලැබෙනවා කියලා අමතක වෙලාද. එහෙම නැත්තම් පිං මනින්නේ රුපියල් වලින්ද....රුපියල් වලින් පිං නොකරන මම මෝඩද... මට යන්න අලුතෙන් අපායක් හදන්න වෙයිද....

මේකට සහරා ශාඛාව කියන එකත් සහරාවට නිග්‍රහයක් , අපායේ පිවිසුම වගේ කිව්වා නම් හරි කියලා දැන් හිතෙනවා.

A/n දහමට නිග්‍රහ නොකරමි, නමුත් මෙසේ දහම පෙරට දාගෙන පව් කරන මිනිසුන් මම පිළිකුල් කරමි.

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now