20. රැපිඩ්

81 24 40
                                    

කාන්තාරය මේ දිනවල ජන ඟංගාවකින් යට වෙලා ගිහින්. බැලු බැලූ අත ලෙඩ්ඩු. ඒ එන අයගේ කොවිඩ් 19 රැපිඩ් පරීක්ෂණ කරන්න පහුගිය දවස්වල බඩුත් ඉවර වෙලා. දැන්නම් ආයි බඩු තියෙනවා.

ඔන්න ඔය අතරෙ අද ගියා කළු කකුලක් බලන්න. ඒ රෝගියාගේ කකුල කෙසේ වෙතත් ඊට වඩා ලොකු ප්‍රශ්න ටිකක් තිබුණා.

බැලු බැල්මට හුස්ම ගන්නේ අපහසුවෙන් වගේ. පරණ ක්ලිනික් පොතක් තිබුණා. ඒකට අනුව අවුරුදු පහක් තිස්සේ තියෙනවා කියන දියවැඩියාවට ක්ලිනික් එකකට කියලා ගිහින් තියෙන්නේ තුන්පාරක් වගේ.

කොවිඩ් කාලේ නිසා සායනවලට ගියේ නෑ කියමුකෝ. දැනට දවස් හතරකට කලින් අසල්වැසි කාන්තාරයකට ඇඩ්මිට් වෙලා, උණ දවස් තුනක් එක්ක. එතනින් තියෙන ප්‍රශ්න විසඳලා දෙන්න කලින්, LAMA වෙලා.  (LAMA - Leave Against Medical Advice) ඒ කියන්නේ බලෙන් ටිකට් කපාගෙන යන එක.

"තාත්තා හොඳට අරක්කු බීලා නේද ඒ කාලේ?" ලෙඩාගේ අක්මාව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන ලක්ෂණ තිබුණ නිසා මම කටට උත්තරය දීලම ඇහුවා.

"ඔව් නෝනා, බෝතල් බාගයක් දවසකට" ඒ කියන්නේ අවුරුදු ගාණක් හොඳට අරගෙන ඇති බවයි. මේ වෙනකොට අක්මාව අඩපණ වීගෙන යන ලක්ශන මතු වෙලා, ඇඟ ඉදිමීම, පෙනහලු වල වතුර, බඩේ වතුර, බඩ ඉදිමීම, රුධිර පට්ටිකා අඩුවීම ඇතුළු එකී මෙකී නොකී පොතේ කී බොහෝ දේ එයාට තිබුණා.

ඉතින් මමත් තිබුණ දේවල් පරීක්ෂා කරන්න ලෙඩා ළඟටම ගිහින් බැලුවා, බඩ එහෙම පොතේ විදියටම පරීක්ෂා කළා. ඒ වෙලාවේ ඉතින් මම දාගෙන හිටියේ මාස්ක් එක විතරයි.

හැම අලුත් ලෙඩෙක්ගෙම රැපිඩ් පරීක්ෂණයක් කරනවා , ඉතින් මේ ලෙඩාගේ ඒකට සාම්පලය ගත්තෙ මම. ගන්නකොට පාවිච්චි කරපු සෞඛ්‍ය නිර්දේශ ගැන මෙතනදි ලියන්නේ නෑ. මොකද තියෙන වැඩ ගොඩත් එක්ක ඔය සියලු දේ අඳින්න වෙලාවක් නෑනේ.

ඒ අතරේ වෙන ලෙඩෙක් බලන්න ආපු කායික රෝග ලොකු මහත්තයටත් ලෙඩාව පෙන්නගෙන උපදෙස් ගත්තා. ලෙඩා එද්දි ලේ වල සීනි 504mg/dl, ඒ කියන්නේ හොඳටම වැඩියි. ඒකට ඉන්සියුලින් විදින්න කිව්වට ඒක ගෙදරදි කරලා නෑ. ඉතින් ඒකට උපදෙස් කායික රෝග ලොකු සර් ගෙන්...

"මේ කකුලෙ තුවාලෙ සුද්ද කරපු දවසෙ ඉඳලයි හුස්ම ගන්න අමාරු" ලෙඩා නැවත නැවතත් කිව්වා.

මාගේ ඉවසීමත් සමහර අවස්තාවල සීමාව පනිනවා.

"මේ තාත්තා, ඔයාගේ ඔය හුස්ම ගන්න අමාරුව තුවාල සුද්ද කළ නිසා නෙවෙයි. බීපු ඒවට අක්මාව නරක් වෙලා, ඒ නිසා ඇඟේ වතුර එකතු වෙනවා. එතකොට තමයි ඉදිමිලා හුස්ම ගන්න අමාරු වෙන්නේ" බැරිම තැන මම ටිකක් සැරෙන් කිව්වා.

තරුණ කාලේ ඔහේ බෝතල් ගණන් බීලා, දැන් ඇවිත් රජයේ මුදල්වලින් බෙහෙත් කරව ගන්න. කොයිතරම් වැරදිද.... කොච්චර බෙහෙත්ද, කොයිතරම් මුදලක්ද... මේවා ඉස්කෝලේ කියලා දෙන්න ඕනෙ දේවල්.... කවදා මේ ක්‍රම වෙනස් වෙයිද...

ඔක්කොමත් හරි, වැඩ ඉවර වෙලා හවස ගෙදර ඇවිත් බබා එක්ක ඉන්න අතරෙ මගේ සහෝදර පතොක් පැළයක් කෝල් කළා.

"අක්කේ ඔයා නේද උදේ xxxx කියන ලෙඩාව බැලුවේ"
"ඔව් මල්ලි, බඩු හරිද?"
"පොසිටිව් අක්කේ"
"අහ්, මම රැපිඩ් එක ගත්තෙ බිල්ලා කිට් එක නැතුව මල්ලි"
......................................................................

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now