පහුගිය දවසක අපි එක්තරා අවයවයක් බද්ධ කළා. අපි කිව්වට ලොකු සර් කළේ, අපි ඉතින් එහෙන් මෙහෙන් අඬු අල්ලගෙන හිටිය එක විතරයි කළේ.
අහ් පොඩ්ඩක් ඉන්න.... තව දේවල් කරන්න වුණා.
නූල් සෙවීම....
මම කලින් කතාවකත් කිව්වනේ නූල් නෑ කියලා. කොහොම හරි, මේ අවයවයේ වැදගත්ම රුධිර නාලයක්, අවයවල ලබාගන්න කෙනාගේ රුධිර නාලයට තියලා පාස්සන්න ඕනෙ කරන නූල ඒ පෑස්සීම කරන ශල්‍යාගාර යේ තිබුණේ නෑ.ඉතින් අනෙක් ශල්‍යාගාර සියල්ලටම ගිහින් අදාල අංකය සහිත නූල් දෙකයි මට හොයාගන්න පුලුවන් වුණේ. ඒත් පස්සෙ බැලින්නම්, නූලේ අංකය ගැලපුනාට නූලටම සෙට් කරලා එන මහන කටුව ගැලපෙන්නේ නෑ.... කොහොම හරි අන්තිමට කොළඹ විශේෂිත රෝහලකින් නූල් ගෙන්න ගත්තා, ඒ වගේම අවයවය ගන්න රුධිර වාර්තා ගැලපුන රෝගියාගේ නිවසේ අය ෆාමසියකින් වඩා හොඳ brand එකකින් නූල් තුනකුත් ගෙනත් දුන්නා.
ඊට පස්සේ අවයවය අරන්, අදාල රෝහලෙන් පිටත් වෙද්දි අපි අපේ සහරාවේ අවයවය ලබාගන්න රෝගියාව නිර්වින්දනය කරලා, උදර කුහරය විවෘත කරලා සූදානමින් ඉන්න ඕනෙ. එතකොට අවයවය ඉක්මනින් මූට්ටු කරන්න පුලුවන් . ඉතින් අවයවය අරන් පිටත් වෙනකොටම අපිට පණිවිඩය ලැබුණා. ඒ නිසා අපි ඒක ලබාගන්න රෝගියාව ශල්‍යාගාරයට එවන්න කියලා පණිවිඩය දුන්නා....
පැය බාගයක් ගියා... රෝගියා නැහැ... වාට්ටුවේ ඉඳලා ට්‍රොලියක දාලා ශල්‍යාගාරයට ගේන්න උපරිම විනාඩි දහයක් යාවි. ඒත් ප්‍රමාදයි. නිවැරදි ව පණිවිඩය දීලත් ඒවා ක්‍රියාත්මක නොවුණම ඉතින් තරහ යනවා. මොනවා කරන්නද...
ඒ අතරෙ අපේ ලොකු සර්ට කෙනෙක් හොඳ බොරුවක් කියලා. සාමාන්‍යයෙන් ලොකු සර් මහන්න නූල් අල්ලන උපකරණ සෙට් එකක් යන යන තැන අරන් යනවා. අපේ ශල්‍යාගාර වල තියෙන උපකරණ ඒ තරම් හොඳ නිසා. ඒ උපකරණ ශල්‍යකර්මය පටන් ගන්න කලින් ජීවාණුහරණය කරලයි ගන්නේ.
ඉතින් මේ මූට්ටුවට අදාල උපකරණ කිහිපයක් තියෙනවා ද කියලා ඒක භාර කෙනෙක්ගෙන් ඇහුවම, "ඔව් ඔව් සර් , මෙහෙ හොඳ instruments තියෙනවා " කියලා කියලා තියෙනවා.
අන්තිමට ඉතින් වැඩේ කරන්න ගියාමයි තරු පෙනුනේ. ඒ උපකරණ වලට අමුණන නූල් එක්ක එන ඉඳිකටුව තද වෙලා හිටින්නේ නෑ. හතර අතේ කැරකෙනවා.
සර් පුදුම ඉවසීමකින් සහ හරිම අමාරුවෙන් මූට්ටු මැහුවේ.කොහොම හරි, අර ගෙනාව නූල්වලින් අපිට වැදගත්ම බට දෙක මූට්ටු කරන්න දුන්නෙ අර කිව්ව රෝහලෙන් ගෙන්න ගත්ත නූලක්. කොයිතරම් හොඳ ප්‍රමිතියෙන් යුතු නූලක්ද කියනවා නම්, බාගයක් මූට්ටු කරද්දි නූල කැඩිලා ගියා....
ඊට පස්සෙ රෝගියා පිටින් ගෙනාව නූලෙන් මූට්ටුව සම්පූර්ණ කළා. ඒත් සියල්ල අවසන් කරලා, නැවත පරීක්ෂා කරද්දි අර බාල නූල නිසා මුළු මූට්ටුවම ලිහිල් වෙලා, ලේ විදිනවා....
නැවත පිළිසකර කරන්න වුණා....
ඉතින් මේ තමා සැබෑ තත්ත්වය. මේ තරම් වටින අවයවයක් මූට්ටු කරන්න හොඳ නූල් නෑ.
ඒ වගේමයි මේ දවස්වල ශිරා මගින් ලබා දෙන ඇතැම් ප්‍රතිජීවක වලට මීට පෙර කවදාවත් ආසාත්මිකතා (allergy ) නොපෙනුව අයත් ආසාත්මිකතා පෙන්වනවා. ඒ බෙහෙත් ප්‍රමිතියෙන් බාලද කියලා සාධාරණ සැකයක් මතු වෙනවා.
ඇත්තටම ලංකාවේ අවයව මූට්ටු අපි නොදන්නවා වුණාට සාපේක්ෂව ගොඩක් සිද්ධ වෙනවා. සහරාවෙත් වලි දාගෙන අපේ ලොකු සර්ලා ඒවා කරනවා. ඒත් එකක් කළාම දවස්ගානක් යනකල් කන් දෙක කූං කූං ගානවා... කෝල්වලට උත්තර දීලම.
කරන වෙලාවට අමාරු වුණත්, මේ කටුක පතොක් ජීවිතේ අමුතු ගතියට මම ඇබ්බැහි වෙලාද මන්දා ඉතින්....
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵