කතාව ලියන්න කලින් කියන්න ඕනේ, ඔමික්රෝන් රජ ගමනේ කියලා. දිගට හරහට පොසිටිව් වෙනවා.
අද කාලෙකට පස්සේ ක්ලිනික් එකෙත් උඩින් අඳින නිල්පාට ඉටි කවරේ ඇඳගෙන ලෙඩ්ඩු බැලුවේ. හරි සනීපයි ඉතින්....ඔන්න ඉතින් පතොක් පැළයක් වුණ මුල කාලේ මම විතරයි නේ හිටියේ ඒකකයටම. ඉතින් සමහර ලෙඩ්ඩුන්ගේ ටිකට් කැපුවම රිපෝර්ට් කෝල් කරලා කියන්න කියලා එහෙම ලොකු මහත්තයා ලෙඩ්ඩුන්ට කියනවා. එහෙමයි කියලා ලෙඩ්ඩු ඉතින් ලොකු මහත්තයට කෝල් කරන්නයැ. අසරණ මගේ දුරකතන අංකය තමයි දෙන්න වුණේ.
කෑමෙන් හොඳ කෑම කියලා, රැයක් දවාලක් නැතුව කෝල් එදා ඉඳලා. ඕනෙ එකටයි , එපා එකටයි හැම එකටම විසිහතර පැයම මගේ ෆෝන් එක නාද වෙනවා. එක දවසක් රෑ දොළහටත් කෝල් එකක් ආවා. ඒක නම් ඇත්තටම අනවශ්ය කෝල් එකක්. මේ වැඩේ කරන්න බෑ. මටත් ජීවිතයක් එපැයි.
අන්තිමට 2017 ඉඳලා ආදරෙන් පාවිච්චි කරපු, මුහුණත් ඉරිතැලුණ මගේ ආදරණීය ෆෝන් රාජයාට මම සමුදුන්නා. ඩුවල් සිම් ෆෝන් එකක් අරගෙන, වෙනම සිම් එකක් අරන් ඒක වෙන් කළා සායනේ වැඩ වලට. එතකොට හැඬවෙන නාදයෙන් කියන්න පුලුවන් සායනයද, කාන්තාරයේ ඇමතුම් සේවා (ඔන්කෝල්) කෝල් එකක් ද කියලා. හරි සහනයක් හිතට.
සහනයක් මට, මගෙ හිතට, නෑ, ඒක තවත් පීඩනයක්....
අපිට ශල්යාගාර නැති නිසා කෝල් කරලා සමහර වෙලාවට අපි ලෙඩ්ඩුන්ට එන්න එපා, වෙන දවසක් කියන්නම් කියනවා. ඒ වෙලාවට සේව් කරගන්න මගේ අංකයට එදා පටන් කෝල් කර කර මගෙන් දින ඉල්ලනවා.
මට හරි සුන්දර විදියට අමතනවා. (මේ විදියට කල් දාන්නේ හදිසි නොවන ශල්යකර්ම බව සලකන්න)
අනේ ඉතින් අපේ ගෙවල්වල පහසුකම් තියෙනවා නම් ගෙදර ගෙනල්ල හරි කරලා යවනවා.ශල්යකර්ම වෙලාවක් ලැබුණම අපි කෝකටත් කියලා වැඩිපුර එක්කෙනෙක් වගේ ඇඩ්මිට් කරනවා.
එක දවසක් එහෙම ගෙන්නපු කෙනෙක්ගේ ශල්යකර්මය කරන්න වෙලා මදි වුණා. මොකද කලින් කරපු ලෙඩාගේ අධික රුධිර වහනය නිසා ඒ ශල්යකර්මය නිම කරන්න ගොඩක් කාලය වැය කරන්න වුණා.
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵