අපි ගොඩක් වෙලාවට මරණයට , වේදනාවට ඔරොත්තු දෙන හරිම රළු ජීවී කොට්ඨාසයක් . ඒත් අතරින් පතර හිතාගන්න බැරි තරම් කම්පනයක් ඇති කරන සිදුවීම් දකින්න ලැබෙනවා.
දැනට දවස් හතරකට කලින් උතුමාණන් පාන්දර හතරට විතර වැඩ ඉවර වෙලා ගෙදර ආවේ. මමත් නිදිමතේ ගිහින් දොර ඇරලා ආවේ ආයි නින්ද continue කරන්න හිතාගෙන...
මොන ආපු වෙලේ ඉඳලා එයා කියවනවා...
"අද burn injury එකක් ආවා (පිළිස්සුම් අනතුරක්) 2* year old, female කෙනෙක්, භූමි තෙල් ලිපක, කොණ්ඩෙත් කඩාගෙන උයන්න ගිහින්, කොණ්ඩෙට ගිණි ඇවිලිලා. 60% burn එකක්. බබත් අපේ බබාට වඩා පොඩ්ඩක් පොඩියි." මම නිදි මරගාතේ ඒක ලොකුවට අහගෙන හිටියේ නෑ. මට නින්ද ගියා.ඊළඟ දවසේ උදෙත් ඒ ලෙඩා ගැනමයි කතාව.... "ඒක 60% නේ, බේරගන්න බැරි වෙයි" එයා එහෙම ලේසියකට එකම ලෙඩා ගැන නිතර කියවන්නේ නෑ. ඒත් මට වැඩ එක්ක ඒක ඒ තරම් හිතට දැනුනේ නෑ.
ඊට දවස් තුනකට පස්සේ මට කෝල් එකක් එනවා. ශල්ය දැඩි සත්කාර ඒකකයෙන්. Burn ලෙඩෙක් ගේ ලේ පිරිසිදු කරන්න බටයක් දාන්න ඕනෙ වෙලා. ඒක සාමාන්යයෙන් එයාලා කළත් මේ ලෙඩාගේ අමාරුයි කියලා අපේ ලොකු සර්ට යොමු කරලා.
සායනය චූටි පතොක් ට බාර දීලා මම ගියා ඒක බලන්න.
ඒ දැකපු දර්ශනය තවමත් මගේ හිතේ හොල්මන් කරනවා. අත් දෙකම ඉහල සිට පහලට වෙළලා. මූණ වහලා, පපුව සම්පූර්ණයෙන් , උදරය සම්පූර්ණයෙන් , කකුල් වල දණහිස් තෙක්, සියල්ල අනතුරට ලක්වෙලා, සියල්ල වෙළුම් පටි වලින් ආවරණය කරලා.
ශ්වසන ආධාරක මගින් හුස්ම දෙන අතරෙ තවත් අනේක විධ ඖෂධ ඉතිරි වෙලා තිබුණ එකම බටය දිගේ ශරීරගත වෙනවා.
බටයක් දාගන්න තරම් තැනක් නෑ, හැම තැනම පිළිස්සිලා. ඒ දසුන පුදුම විදියට මාව කම්පනයට පත් කළා.
ලොකු සර්ට කතා කරලා , උපදෙස් අරගෙන ඒ කාර්ය අවසන් කරලා නැවත සායනයට ගියත් මට දැකපු දේ අමතක කරන්න අමාරු වුණා.
ඒ තරම් ඒ ගැන කියෙව්වේ ඇයි කියලා මට තේරුණේ ඒ වෙලාවෙ.
කොයිතරම් වේදනාවක් ඇතිව ඒ ලෙඩාට. 60% කියන්නේ ලොකු වර්ගඵලයක්. සරලව ගත්තොත් දණහිස් දෙකට ඉහලින් මුළු ශරීරයම පිළිස්සිලා. ජීවිතය බේරා ගැනීමේ අවස්තාව ඉතාම අවමයි.
භූමිතෙල් ලිප නිසා මේ දවස්වල මේ වගේ තව කොයිතරම් සිද්ධි වෙනවද.... මේවා වළක්වන්න පුළුවන්කම තියෙන ජීවිත හානි කියලයි මගේ අදහස. ඒත් ඒවා කවදා සිද්ධ වෙයිද...
අනෙක් කාරණය, දරුවන් සහ උණු වතුර, ඉතා භයානක සංකලනයක්. දවස් දෙකකට කලින් වාට්ටුවේ ඉන්න අතරෙ හොඳටම අඬන බබෙක් ගෙනාවා ශල්යාගාරයෙන්. මොකද මේ තරම් අඬන්නෙ කියල ඇහුවමයි දන්නේ, තේ එකක් හදලා මේසෙ උඩ තියලා තියෙද්දි, බබා ඒක ඇදලා උකුලට තේ හලාගෙන.
බබාලා ඉන්නවානම් වඩාත් අවධානයෙන් ඉන්න ඕනෙ. පිළිස්සුම් අනතුරු හිතනවට වඩා සුලබයි. ඒ වගේම විඳවීමත් උපරිමයි.
අපි නොහිතන දේවල් නිසා පිළිස්සුම් සිද්ධ වෙන්න පුලුවන් , දෙයක් වුණාට පස්සේ මකලා හදන්න බෑ. ඒ නිසා මේ දවස්වල මොන ලිපේ ඉව්වත් පරිස්සම් වෙන්න. අපි හැමෝම අනාරක්ෂිත බව ඇත්ත. එහෙමයි කියලා ජීවත් වෙන එක නතර කරන්න බෑ. ඒත් ආරක්ෂාව සලසගන්න උත්සහ කරමු.
A/n මේක කෙටියෙන් ලීවෙ, මේ දවස්වල වැඩ වැඩියි මට.
YOU ARE READING
පතොක් කතා |සිංහල| සත්ය සිද්ධි 🌵🌵 [Completed]
Non-Fictionසහරාවේ ශාඛාවක පූදින්න පිං සොයන මම, ඇසින් දුටු, ඇස් තෙමූ, හදට දැනුනු, හද බිඳපු පුංචි පුංචි කතා...🌵🌵