09. පුංචි සිද්ධි 🌵

118 30 50
                                    

මේ කාන්තාරයේ මම විඳවනවද, නැත්තම් විඳවීමත් විඳිනවද.... ඒකට උත්තරය මටත් දෙන්න අමාරුයි. වෙන කරන්න දෙයක් නැති නිසා විඳිනවා වෙන්නත් පුලුවන් .

අනේ මට වෙච්ච දේ, මට මේක කරන්න බෑ, අරක නෑ, මේක නෑ කියලා ඕන නම් යන යන තැන කෑ ගහ ගහ හැමෝටම බැන බැන ටොක්සික් කෙනෙක් වෙන්නත් තිබ්බා. එහෙම කළා කියලා මට මොනවද ලැබෙන්නේ. ඒකෙන් කාටවත් වැඩක් නෑ. සරලවම මටවත්.

අනික තමයි, අපි දන්නේ නෑ අපිත් එක්ක එකට හිනා වෙලා හරි රණ්ඩු වෙවී හරි වැඩ කරන අයගේ ඇත්ත පසුබිම මොකද්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපේ පාලනයෙන් තොර දේකට අපි බොරුවට අනික් අයට කෑ ගහලා වැඩක් නෑ. අනිත් එක තමයි අපි දෙයක් දකින විදිය අනුව තමයි අපි ඒක අපේ හිත ඇතුලට ගන්නේ. ඉතින් එහෙම බැලුවාම විඳීම සහ විඳවීම තියෙන්නෙත් අපේ ඔලුව අස්සේ.

මම සමහර වෙලාවට විඳවනවා, සමහර වෙලාවට විඳිනවා.

මේ පුංචි පුංචි සිද්ධි ටිකක්.... තනි කතාවකට ලියන්න කෙටි වැඩි නිසා එකතු කළා.

"සීයා, ඔයාගේ කකුල හදන්න ඔපරේෂන් කරන්න බෑ. හාට් එක හොඳ නෑ. ඒ නිසා බේත් වලින් කැක්කුම පාලනය කරගෙන ඉමු"
"හා නෝනා"
"තාත්තා කියන දේ අහන්නේ නෑ, බේත් ටික වෙලාවට බොන්නෙත් නෑ" ඒ සීයව අමාරුවෙන් ක්ලිනික් එකද එක්ක ආපු දුව.

"මේ.... නෝනා, අඩියක් ගැහුවට කමක් නැද්ද?"
"මොන අඩියක් ද, සීයෙ ඔය සෙරෙප්පු හොඳයි වෙනස් කරන්න ඕනෙ නම් අපි කියනවා" diabetic shoes ගැන කල්පනා කර කර මම උත්තර දුන්නා.

"නෑ නෝනා, මේ උත්සව කාලෙනේ, පොඩි අඩියක් ගත්තාට කමක් නැද්ද?"
අන්න ඒ වෙලාවේ මට මගේ කන් දෙකෙන් දුම් දානවා වගේ දැනුනා.

මෙච්චර වෙලා සිගරට් බීමේ ආදීනව පැහැදිලි කළායින් පසුව දැන් ලැජ්ජාවක් නැතිව මත් පැන් පානය ගැන අසයි.
මේ බහුතර ක්ලිනික් ජනතාවගේ හැටි ය. බෙහෙත් ගිල දැමීමෙන් පමණක් සියල්ල නිවැරදි වන්නේ නැත. ජීවන රටාව ද වෙනස් කරගත යුතුය. මේවා උගුර ලේ රහ වෙනකල් කීවත් ඇති ප්‍රයෝජනයක් ද නැත.
.
.
.
.
අතේ ඇඟිලි කළු වී පැමිණි අවුරුදු 60 ක රෝගියෙක්...
"කකුලෙත් ඔහොම කලු වෙනවද?"
"කලින් එහෙම වුණා, දැන් නෑ, නහරයක් දැම්මා ඔපරේෂන් කරලා"
"කොයි කාලෙද"
"අවුරුදු 15කට කලින්"

මේ විදියට විස්තර අහගෙන යද්දි දුම් පානය ගැන විස්තර අහන කොටසට ආවා.
"සිගරට් නම් හොඳට බීලා තියෙන්නේ නේද?"
"ඉස්සර බිව්වා, දැන් බොන්නේ නෑ"
"අන්තිමට බීවේ කවදද?"
"මාස තුනකට කලින්"

මම හිත ඇතුලෙන් "මොකක්"

මම එළියට ඇහෙන්න " ඒ කියන්නේ බයිපාස් ඔපරේෂන් එක කළාට පස්සෙත් බීලනේ"

"ඔව් නෝනා"
"දැන් ඔය ලක්ෂ ගාණක් වියදම් කරලා කකුල බේරලා දුන්නේ ආයි විනාස කරගන්නද?"

"දැන් නවත්තලා තියෙන්නේ "
මම තවත් මොකුත් නොකීවෙමි. කියන්නට වෙහෙස වී ඵලක් නැත. මේ මිනිස්සු රජයෙන් ලබා දෙන සේවය තඹ සතයකට මායිම් නොකරති.
මට වෙලාවකට හිතෙනවා විහින් ලෙඩ හදාගෙන එන මේ වගේ මිනිස්සුන්ට වියදම් කරන සල්ලි, අපේ රටේ අධ්‍යාපන කටයුතු වලට යෙදෙව්වා නම් කියලා.
.
.
.
.
.
"කකුලේ වසා පද්ධතිය හිර වෙලා තියෙන්නේ , ඕක සම්පූර්ණයෙන් තිබුණ තත්ත්වයට ගන්න අමාරුයි. ටිකක් පාලනය කරන්න පුලුවන් " ලොකු සර් එහෙම කීවෙ, කකුල් දෙකම කාලයක් තිස්සේ ඉදිමෙන වයසක සීයා කෙනෙක්ට.

අනෙකුත් පරීක්ෂණ වාර්තා නෙගටිව් වෙද්දි හොයා ගත්ත හේතුව තමයි වසා එකතු වීම නිසා වෙන ඉදිමීම.

"See , these patients are chronic cases. You have to get thier gap between expectations and reality minimized" (මේ කාලාන්තරයක් තිස්සේ තියෙන, නිට්ටාවට හොඳ කරන්න බැරි ලෙඩ. ඒ වගේ ලෙඩෙක්ගේ බලාපොරොත්තු වන සුව වීමේ මට්ටම සහ සැබෑ සුව වීමේ මට්ටම අතර වෙනස අඩුවෙන් තියන්න ඕනේ" )

ලොකු සර් එහෙම කිව්වේ ඒ රෝගය හැදුනම කකුල තිබුණ තත්ත්වයට ගන්න අමාරු නිසා, ඉතින් එක එක ක්‍රම මගින් තත්ත්වය පාලනය කරන්න විතරයි පුලුවන් . එතකොට අපි ලෙඩාට බොරුවට කිව්වොත් "කකුල තිබුණ තත්ත්වයට එනවා" කියලා, ඒක ලෙඩාට බොරු පොරොන්දු දීමක්, එහෙම නොවෙද්දි එයාලා ක්ලිනික් එන එකත් නතර කරනවා.

"අපි කකුලේ ඉදිමුම පුලුවන් තරම් අඩු කරමු, ඒකට ඔයාගේ කැපවීමත් ඕනෙ. නිට්ටාවට බැරි වුණත් මේක පාලනය කරන්න පුලුවන් " මේ විදියට කිව්වොත් සැබෑ තත්ත්වය සහ රෝගියාගේ බලාපොරොත්තු අතර ලොකු පරතරයක් නෑ. එතකොට එයාල සතුටුයි, ක්ලිනික් එන වැඩෙත් හරියට කරනවා.

වෙලාවකට අපිත් සත්‍ය සහ බලාපොරොත්තු අතර පරතරය අවම කරගත්තා නම් කියලා හිතෙනවා , එහෙනම් මේ කරදර ගොඩක් අඩුයි....
.
.
.
නිදිමතයි, ඉතුරු ටික හෙට 🌵🌵🌵

පතොක් කතා |සිංහල| සත්‍ය සිද්ධි 🌵🌵 [Completed]Where stories live. Discover now