"ඕක රවුමට තියන්න"
"අරීෂ් අයින් වෙයන් ඔතනින්"
"කෝ යකෝ ගිනි පෙට්ටිය!!"
"මෙන්න මෙහෙ වරෙන් පොඩි ඇටයා"
"මේවා පුරුදු වෙන්න කරනවා කියලා හිතුවද?"
"යුපුන් මෙන්න මෙහෙ වරෙන් බං!!"
ගිනි අවි සහ ගිනි කෙලි සංදර්ශන කරන්න මුළු පාරම අපි බදු ගත්තා. අපේ දිහාට රෑට රෑ වෙලා රෝසි අක්කා එක්ක වන්දාත් වන වන ආවා. කොල්ලෝ ටිකක් ඉන්නවා දැකලා රෝසි අක්කනම් මග නවතින්නේ නැතුව කෙලින්ම ගිහින් ගෙටම රිංගගත්තා. හිතං ඇති කවුරුහරි එයැයිව පැහැරගෙන යයි කියලා. ඔය කට ඇරියොත් පැහැරගන්න එන එකත් පණ එපා කියලා දුවනවා.
මම අයියලාගෙන් කඩාගත්ත සල්ලි වලට ගත්ත ෆයර් වර්ක්ස් දාපු මල්ලත් එල්ලගෙන කෂ්මිර අයියත් එක්ක වැඩේට බැහැලම හිටියේ. ටික වෙලාවකින් සද්දෙටම මන්දා අහල අහල ඇච්චෝ බැච්චෝ ටිකත් අපේ ගේ ඉස්සරහට ආවා. දෙයියනේ කියලා වෙලාවට අපේ පාර තියෙන්නේ හන්දියක නිසා හෙන ඉඩක් තියනවා.
"මං මේක පත්තු කරනවා යාළුවනේ...!!!!"
කෂ්මිර අයියා ගිනි පෙට්ටියත් අරන් පාර මැද රවුමට රවුමට ගොඩ ගහලා තිබ්බ බබර චක්කර ගොන්න මැද තිබ්බ බබර චක්කරේ පත්තු කරා. ඒක ටික වෙලාවක් ගිහින් පත්තු උන ගමන් ඒ ගින්දරට වටේ තිබ්බ බඹර චක්කර පත්තු වෙන්න අරන් රවුමට රවුමට කැරකිලා ගිනි පුපුරු විසි වෙන්න ගත්තා. ටිකෙන් ටික වටේ ඔක්කොම බබර චක්කර පත්තුවෙන්න ගන්න කොට අපිට යන්න පාරවල් නැති උනා..
"යකෝ මෙන්න මේක මගේ පස්සෙන් පන්නවෝ!!!"
"මේවට පිච්චෙන්නෑ කියලා ෂුවර්ද බං?"
"අනේ මාව බේරගන්නකෝ අයියාහ්!!!"
"ඔය කොහෙන්ද අල්ලං ඉන්නේ අතෑරපං මාව!!!"
ඒක මරු ආතල් වැඩේ. අරීෂ් අයියයි හසිත අයියයි බොරුවටත් එක්ක ගෑණු දෙන්නෙක් වගේ බෙරිහන් දෙනවා. උන්ගේ විකාර බලාගෙන හිටිය වටේ පිටේ ඉන්න උන්ටත් හිනා යනවා.
අපේ අයියනම් ගේට් එකට හේත්තු වෙලා ඕවට මම නම් නෑ වගේ බලාගෙන හිනා වෙවී ඉන්නවා. යුපුන් අයියත් කූඩැල්ලා වගේ අයියට මුක්කුවක් දාගෙන හිටියට කෂ්මිර අයියා ඇදලා ගත්තා පාර මැද්දටම. දැන් නිකං වැරදිලා ඩාන්ස් කරන්න ආව එකා වගේ උඩ පැන පැන බඹර චක්කර වලින් බේරෙනවා.