"අයියේ අපේ අයියව දැක්කද?"
"තාරකයා ක්ලාස් එකට ගියා මල්ලේ!!!"
මම ප්‍රශ්නේ අහපු එකා උඩබිම බලන් කල්පනා කරනකොට උට පස්සෙන් යන ගමන් හිටිය අයියා කෙනෙක් දඩාරම් බනිස් බොක්ස් එකක් බරට බරේ උස්සගෙන ස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා අපේ අයියා ඉන්න තැන ලොකේෂන් එකත් කියලා කොරිඩෝව දිගේ චූං පාන් කාරයෙක් වගේ නොපෙනී ගියා..
"අහ්.. ක්ලාස් එකේලු මල්ලි"
මට ඇහුනා මෙයා..
"යන්නම් අයියාආආ!!!"
මම එහෙම්ම කැඩිච්ච සරමත් චංගුමි වගේ අල්ලං ටාර් ගාලා අපේ අයියගේ සෙක්ෂන් එක පැත්තට දිව්වා.. මේ ඉන්න විදිහට මගේ එක පුලියේ.. හොද වෙලාව තමා අම්මගේ කටේ බලේට හරි ශෝටක් ගැහුවේ.. බෙල්ට් එක්කුත් නෑ.. ගැලවුනොත් එහෙම ගෑණු පරානයක් නැති ස්කෝලේ මැද්දේ කාගෙත් සුන්දරී වගේ මට ශෝ එක පෙන්නන වෙන්නේ...
ඇත්තම කිව්වොත් අද ස්කෝලේ අවුරුදු උත්සවේ.. ඔය සරං ඇඳන් ඉන්න කෙරුවාව මට හරියනම වැඩක් නෙවේ.. ඒ කියලා මට විතරක් සරමක් නැතුව අවුරුදු සමරන්න බෑනේ.. අනික උදේ ඉඳලා මගේ වැඩේ තමා සරම කඩන් වැටෙන වාරයක් ගානේ ඒක උස්සන් ගිහින් අසහනකාරයා වගේ එක එකාට කියලා අන්දගන්න එක.. සිහිනි මිස් හිටියනම් ඔන්න ආදරෙන් ටොක්කක් ඇනලා අන්දවනවා.. ඒ උනාට දැන්නම් එයා පේන්නවත් නෑනේ.. ඒ නිසා ලේසී අයියට කියන එක..
"අයියේ!!!"
සිම්මටහරි!!! මන් ඉතින් පුප ගිනිගත්ත හනුමන්තා වගේ කිසි සදාචාරයක් නැතුව කෑ ගහගෙන 12-E කියලා ගහපු සයන්ස් ක්ලාස් එකට පැනලා හයියෙන් බ්‍රේක් ගැහුවම තමා ඇතුල ආක්‍රමණය කරලා ඉන්න සෙට් එක දැක්කේ..
දැන් හරිද පුතේ? සනීපයිද මයේ අම්මට?
මං නිකන් අයිස් ඒජ් එකේ කර වෙච්ච ලේනා වගේ එක තැන ෆ්‍රීස් වෙලා බලන් ඉන්නකොට ක්ලාස් එක පිරෙන්න ෆයිල් වගයක් බදාගෙන හිටිය සරං කාරයෝ හැටක් විතර මගේ ඉහේ ඉඳන් පල්ලට බැලුවා.
මං හැමෝටම පේන්න දත් ටික විලිස්සලා හිනා උනාම මහා සෙනගක් මැද්දේන් ෆයිල් එකක් බදාගෙන සෑහෙන ලොකු මිෂන් එක්ක හිටිය අපේ අයියා ඇස් දෙකත් ලොකු කරන් 'පලයං යන්න' කියලා නොකියා කිව්වා.. එහෙම යන්න පුළුවන්ද රෙද්ද කැඩිලා..