අවසන හේ නිශාධ්‍ය වෙතට ඇවිද විත්......
අවසන හේ නිශාධ්‍ය වෙතට ඇවිද විත් ඒ දෑත මත හරි බරි ගැසෙමින් ඒ ළයටම නින්දෙන් තුරුලු වූ ඔහුගේ හිස මත සිය සුරත තැබුවේය. නිශාධ්‍ය ඒ සුරත ඒ හිසින් ගිලිහෙන පරිදි පියවරක් පසු පස්සට ගියේ ය.
තේජාධන යළිත් පියවරක් ඉදිරියට විත් සිය සුරතින් ඒ හිස මෘදුව ස්පර්ශ කළේ ය. නිශාධ්‍ය රවමින් ම දෙවනි වරටත් සිය පාදය පිටුපස ට ගත්තේ ය.
එවර නම් තේජාධන රෞද්‍ර ලෙස මඳක් සිනාසෙමින් නිශාධ්‍ය ව ඇද නතර කර ගන්නට විය. අනතුරුව හේ සිය සුරතට ඒ හිසේ සිට මෘදු කොපුල් තල දක්වා පල්ලම් බැසීමට ඉඩ හැරියේ තමාගේ හරිත වර්ණ නේත්‍රයන් මෘදු බැල්මෙන් විදාළමිනි.
නිශාධ්‍ය කෝපය හා වික්ෂිප්ත බව අතර දෝලනය වෙමින් ම බලා හුන්නේ ඒ දසන් දෙපළ කිටි කිටියේ එකට තද වන විටය.
ආයුවර්ධ ද සුරත මිට මොළවාගෙන සිය පියවර එදෙසට නඟාලන්නට සැදුවා පමණෙකි. තමා දුටු දෙය ආයුවර්ධයන් ව හිටිවනම පාෂාණිභූත කර දැමීය.
තේජාධන ගේ හිස නිශාධ්‍ය ගේ දෑත මත හුන් සඳබරණයන්ගේ වතට බරව තිබුණි. හේ වට පිටාව පිළිබඳ අල්ප මාත්‍රයකුදු තැකීමක් හෝ නොකරම සඳබරණ ගේ මෘදුව ලවන් මත කෙටි සිපුමක් තැබුවේය. අවසන ඒ අර්ධ චන්ද්‍රයා බඳු ලලාටය මතින් ද සියුම් ලෙස සිපුමක් තැබූ හේ යළිත් ඒ කොපුල මෘදු ලෙස ස්පර්ශ කරමින් පසෙකට විය.
අභිවර්ණා දෝතින්ම සිය මුව වසා ගත්තේ කම්පනය මඟ හැර ගැනීමටය. විරාධ්‍ය ආයුවර්ධගේත් නිශාධ්‍යගේත් තේජාධනගේත් මුහුණු දෙස කිහිප විටක්ම මාරුවෙන් මාරුවට බැලුවේ ඇවිලීමට නියමිත ක්ෂණික දාහ්‍ය ද්‍රව්‍යය සොයා ගන්නා අරමුණින් ය.
අවසන ආයුවර්ධ පළමුවෙන් පුපුරා ගියේ ය. හේ වහා ඉදරියට පැන තේජාධන ගේ උත්තර සාටකයෙන් ඇද කරකවා අඹරා ගත්තේ ඔහුගේ ගෙලද සිරවන පරිදි විය.
නිශාධ්‍ය ටද ගැටුමට සහභාගි වීමට අවැසි වුවත් තම දෑත මත හිඳිමින් ළයට උණුසුම් ලෙස ගුලිවන සඳබරණයන් එයට බාධාවක් විය. අවසන හේ හැකි ලෙස සිය පාදයෙන් වැර යොදා තේජාධන ගේ දණහිස පිටුපස ට පහර දුන්නේ ගොසින් අභිවර්ණා විවර කර දැමූ චන්ද්‍ර මරිචීය වෙත ඇතුලු විය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්