"තේජ්!"
ඒ ස්වරය මෘදු සන්සුන් එකකි. තේජාධන තිගැස්සී හිස ඔසවා බැලුවේ ය.
"පැමිණෙන්නේ නැති ද ඔබේ චන්දු වෙතට?!"
සඳබරණ යළිත් පෙර කී මෘදු සන්සුන් ස්වරය නඟා විමසුවේ සිනහ වෙමිනි.
තේජාධන මඳකුදු පමා නොවීම සඳබරණ ගේ දෑත අතට දිව ආයේ ඔහුව කිටි කිටියේ තදින් වැළඳ ගන්නට විය.
ඉන්පසු ඒ වත අතොරක් නොවන සිපුම් වර්ෂාවකින් නහවන්නට වූයේ සඳබරණ ගේ වතෙහි අඟලක් නෑරම තේජාධන ගේ ඉදුණු පිණි ජම්බු වල පැහැය ගත් ලවන් සංචාරය කරන්නට විය.
සඳබරණ මඳකට ඇඹරිණ.
"කිම ද?!"
තේජාධන විමසුවේ කලබලයක් හෝ නැතිවමය.
ඒ ලවන් සඳබරණ ගේ සවන් පත් වල සිට සිහින් දිගු ගෙලෙහි පාර්ශවීය මුහුණත දිගේ උරහිස තෙක් ම කාර්යබහුල වී තිබුණි.ඒ සිපුම් බොහෝ මෘදු ය. එක විටම ක්ෂාන්තිය හා කලබලය අතර දෝලනය වන්නේ ය. සඳබරණ ට තමා සිය නිවහන වූ සඳකලා මැදුරට ඉඳුරු දෙසින් වූ මහා සමුද්රය මත රළ අතර අතරමන් වු සේ දැනුණි.
තේජාධන ගේ සිපුම් එකී සයුරු රළ මෙන් එක විට චංචල විය, එමෙන්ම නිශ්චල ද විය. හැරත් වෙනදාට කඩි කන කෝපයෙන් පිරී ගොස් පූර්ණ න්යග්රෝධ අසපුව ම භය භීරාන්ත කරවන මන්දාකර්ණ ඇදුරු වූ තේජාධන ට මෙතරම් ම මෘදු විය හැකි දැයි වටහා ගැනීමට භරණයන් ගේ සිත අසමත් ව තිබුණි.
ඒ වටහා ගැනුම සිය ඇදුරා තමාට විසඳීමට දෙන සංකීර්ණම ගණිත ගැටලුවක් විසඳීමටත් වඩා අපහසු බව චන්ද්රාභරණ සිතුවේ ය.
අනෙක් අතින් තේජාධන ගේ මනසේ ස්වභාවයද සඳබරණ ගෙන් වෙනස් වූයේ මඳ වශයෙනි. වෙනදා යටි සුළඟින් සුසැදි කුණාටුවක් සේ චණ්ඩ තමා මේ මොහොතේ රාත්රියේ නාකණ වාපිය මතින් හමා එන සිහිල් මඳ සුළඟ සේ නිවී ගොස් තිබුණි. වෙනදා න්යග්රෝධයේ වාලුකා කැටයක වෙනසටත් කලබල වන තමා තුළ මෙතරම් ම ඉවසීමක් සැඟව තිබුණැයි තේජාධන ට සිතා ගැනීමට හෝ නොහැකි විය.
නිහඬ වන අරණේ තුරු හිස් පිස ඒ අතරින් හමා එන සිහිල් පවන නොවෙනස් ලෙසම හමා එමින් තිබුණි. ලිය මඬුලු ගොමුුවේ වියනට සුසැදි දැනුදු නටුවෙන් ගිලිහී හුන් සුගන්ධ සේපාලිකාවෝ තුරු පත් අතහැර එකී සුළං කෝඩයට හාද වෙමින් බිම පතිත වන්නට ගත්තේ ලතා ගොමුව යට හුන් දෙදෙනාව කුසුම් වර්ෂාවකින් නහවන අතරමය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්