නෙහාර කැන්ටින් එකෙහි වාඩි වී උන්නේ තමා සමගම සිනාසෙමිනි.
"චූටි බේබි හරි මනමාල පාටයි අප්පේ.."
නෙහාරගේ සිතුවිලි සියල්ලටම බධා ගෙන ආවේ එතනට විරාජ සමඟ කඩා වැදුණු ශකිලා ඔහුගේ මුහුණ දෙපසට හරවා හරවා මොනවදෝ සොයද්දීය.
"නෙහාර මං ගියාට පස්සෙත් ඌ උඹට ගැහුවද..?"
"කවුද..?" නෙහාර ඇසුවේ ඔහුගේ මුහුණේ රැදී තිබූ ශකිලාගේ අත ඉවත් කරමිනි.
"අර උඹේ බේබි හාමුවා.."
"අනේ..එයා ඒම ගහන්නේ නෑ අප්පා..ඒ වෙලේ චූ...ට්ටක් කේන්ති ගිය නිසානේ..එයා සමාවත් ගත්තා..එයා එහෙම නරක නෑ.." නෙහාර කීවේ සිනාසෙමිනි.
"අනේ..මරු චූටි කේන්තිය..නිකන් ඉදපං නෙහාර..ඌ කාලකණ්ණියා..ගස් බල්ලා මරන්න බැරි උනානේ මට..."
"එයා ආයේ ගහන්නේ නෑ..මගේ චූටි බේබිට බනින්න එපා..එයා නරක මනුස්සයෙක් නෙවෙයිනේ...එයා කොච්චර හොඳද දන්නේ මම..මම අද මෙතන ඉන්නේ එයා නිසා..මං අද ජීවත් වෙන්නේ එයා නිසා..ගන්න හුස්මක් ගානේ මං ණයයි එයාට..ඔයාලා දන්නේ නෑ..ඔයාලා දන්නවද මගේ ඇත්ත..මගේ අම්මා ගණිකාවක්..මගේ තාත්තා කවුද කියලා අම්මාවත් දන්නේ නෑ..මගේ මෝඩ කමට අවුරුදු විසි එක වෙද්දි මිනිහෙක් එක්ක පැනලා ආව කෙනෙක් මං..මටයි ඒ මිනිහටයි ඒ ඉඩමෙම පැලක් අටව ගන්න දුන්නේ චූටි බේබිගේ අප්පච්චි..ගෙදර වැඩ ටික කරන්න දීලා අතට කීයක් හරි දුන්නේ චූටි බේබිගේ අම්මා..මිනිහාගෙන් ගුටි කාගෙන ඉදිමුණු කම්බුල් තැව්වේ අක්කෙක් නැති මට අක්කෙක් උනේ චූටි බේබිගේ අක්කා..ජීවිතේට ඇදක නිදාගෙන නැති මාව ඇදක නිදිකෙරෙව්වේ චූටි බේබි..චූටි බේබිගේ අක්කා බදින්න හිටි මිනිහා වෙනුවට මාව විශ්වාස කලේ චූටි බේබි..මගේ මිනිහා මාව සල්ලි වලට විකුණලා දූෂණේ කරලා මරන්න යද්දි මාව ඉදුල් වෙන්න නොදි මගේ ජීවිතේ බේර ගත්තේ චූටි බේබි..එයා නොහිටියා නම් මං ලේ ගිහින් මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා..බෙහෙත් දාලා සිහිය එනකල් විතරයි මගේ චූටි බේබි මාව එහේ තියා ගත්තේ..මහා රෑම මාව මෙහේ අරන් ආවා..සැප කියන්නේ මොකක්ද කියලවත් මං දන්නේ නෑ මගේ දෙවියෝ නොහිටින්න..එයා මට ගැහුවත් මොකද..මාව ජීවත් කලේ එයා නිසා..එයා නොහිටින්න මං මගේ අම්මා වගේම වෙලා..හීනෙන්වත් දකින්න කැප නැති දේවල් මට ඇත්ත ජීවිතේදි අතටම දුන්නේ එයා..එයාට බනින්න එපා..හොඳ කෙල්ලෙක් බැඳලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි ඊයේ මගෙන් ඇහුවේ නෙහාර අපි බදිමුද කියලා...එයාට එයාගේ ඕන එපාකම් ඉටු කරගන්න මං අවස්ථාව දීලත් බඳිනකල් ඉවසමු කියලා මාව අත් දෙකෙම්ම අල්ලන් තුරුළු කර ගත්තා මිසක් මගේ වැරදි තැනකින්වත් ඇල්ලුවේ නෑ..එහෙමයි මගේ චූටි බේබි...ඇයි එයාට බනින්නේ...?මං නිසා එයාට බනින්න එපා දෙවියනේ..."