"පාට දේදුණු සේදිලා - ඈත කඳුයායේ
සීත රෑ සඳ පීදීලා - නීල තරු යායේ..
නීල තරු යායේ...ඈ ලවන් තෙරේ - සෝ ගී සුසුම් නැඟේ
මීදුම් වලා ලෙසින් පාවී - ඈතින් හැපී බිඳේ..."නෙහාර සෙමින් දෑස් විවර කලේ සෙමින් ඇසෙන සින්දුව මෙන්ම ඒ තාලයටම සෙමින් මුමුණන ප්‍රතාප්ගේ සියුම් හඩටය.නෙහාර තවම උන්නේ ප්‍රතාප්ගේ උරහිස මතය.ප්‍රතාප්ගේ අත තවමත් නෙහාරගේ කම්බුලක් මතය.ඩෑෂ් බෝඩ් එක මත තිබුණු digital watch එකේ සටහන් වී තිබූ වේලාව දුටු නෙහාර ප්‍රතාප්ගේ උරහිස සෙමින් සිප ගත්තේය.
ඔහු පැය තුනක්ම තමන්ව එලෙසින් අල්ලාගෙන විත්ය.
"බඩගිනිද පැටියෝ...?"
"නෑ අයියේ..."
"ඉස්සරහා සුපිරි පොට් එකක් තියෙනවා කිව්වා ශෙහාන්..කට දන්න මොනා හරි කමු..ම්ම්.."
"උණුම උණු ප්ලේන්ටි එකක් එක්ක සැරම සැර එළවළු රොටියක්...මං දවසක හදලා දෙන්නම්කෝ අයියේ ඔයාට නයි මිරිස් දාපු ඒවා.."
නෙහාර සිනහාවෙමින් කියද්දී ප්‍රතාප් නෙහාරගේ හිස අතගෑවේය.
පාර අයිනේ තිබුණු කඩයක් අසළ ප්‍රතාප් වාහනය නතර කරද්දීම ශෙහාන්ගේ හා නිලේෂ්ගේ වාහනයද නතර කලේය.
"මන්දි..ඔයා මොනාද කන්නේ..?"
නිලේෂ් ඇසුවේ මන්දනාගේ අවුල් වී ගිය කෙස් රොඳක් අතින් ගෙන කන පිටුපස සඟවමිනි."මොනා හරි කමක් නෑ පොඩි දෙයක් කමු..."
නෙහාරගේ හිසත් අතගාගෙනම නිලේෂ්ගේ අතේ එල්ලී පසෙක තිබූ පොල් අතු වලින් සාදා තිබූ හට් එකකට ගොඩ වී ඉදගත් මන්දනා දෙස බලා උන් ප්‍රතාප් සුසුමක් හෙලමින් මදසිනහවක් පෑවේය.
"අක්කාට එහෙම ආදරයක් ලැබෙද්දි ඔයාට සතුටුයි නේද අයියේ...?"
"හ්ම්...මට කියලා ඉන්නේ ඒකී විතරනේ..මට කවදාවත් ඒකිව හොඳට බලා ගන්න බැරි උනා..ඒකිට මාව ඕනිම තැන්වල කවදාවත් මං ඉදලා නෑ..පොඩි කාලෙත් එහෙමයි...ඒකිගේ කසාඳෙදිත් එහෙමයි..ඒකිගේ පළවෙනි ළමයා ලැබෙනකොටත් එහෙමයි...එයාගේ මල්ලී මම නෙවෙයි උඹ නෙහාර..ඒ කොහොම වෙතත් ඒකි මගේ අක්කා..එකී සතුටින් ඉන්නවා දකිද්දි කවුරු හරි එකෙක් ඒකිට පට්ට ආදරෙයි කියලා දැනෙද්දි මට සතුටුයි..."