"උක්කුවෝ පොඩි ඉස්කෝලේ මහත්තයටත් පුටුවක්, පිඟානක් තියාං!" මහ නිළමේතුමා කීවේ කෑම මේසයෙන් වාඩි වී මටත් වාඩි වෙන්නැයි අතින් දක්වමිනි.
රාත්‍රී කෑම මේසය අනර්ඝ විය. තෙල් පෑදුනු පොළොස් දීසියක්ද, බැදපු මිරිස් සමඟ කරවල හොද්දක් ද, පරිප්පු හා දිලිසෙන පළා මැල්ලුමක්ද මාළු ඇඹුල් තියලක්ද එහි වූයේ කහ බත් දීසියක් වට කරගෙනය. රාත්‍රිය එළඹීමත් සමඟ බණ්ඩාර වලවුව පොල්තෙල් පහනින්, ඉටිපන්දමින් හා ලාපුවෙන් එලි වෙයි. ගමේ කොහේටවත් විදුලිය නැතිනිසා මුලු ගමම රාත්‍රියට අඳුරේ ගිලෙයි. මහ නිළමේ පෙරටු කොට ලොකු මැණිකේ, පොඩි මැණිකේ හා මමද කෑම මේසයට වාඩි වුනෙමු.
"කොළොංතොටේ තරම් රස කෑම නම් නෑ ඕං! මට පුළාං හැටියට හැදුවා...!" ලොකු මැණිකේ මහ නිළමේට බත් බෙදමින් කීවාය.
"හපෝ මේව දිව්‍ය භෝජන වගේ ලොකු මැණිකේ! කොළඹ කෑම දැං තනිකරම වස ගොඩක්! තෙල්, රසකාරක,.... ඒවා කාලා මෙච්චර කල් ජීවත් උනා පුදුමයි!" මම සිනහවක්ද සමඟ කීවෙමි.
"මැණිකේ, අපේ පොඩි ඉස්කෝලේ මහත්තයටත් බෙදුවනම් ඔහොම්මම! මේ උක්කුවෝ... පොඩි නිළමෙටත් එන්න කියාං...! මේ කොලුවා කවදාවත් වෙලාවට කෑමට එන්නෑ නෙවැ!" මහ නිළමේ කීවේය.
"පොඩි නිළමේ? තව ළමයෙක් ඉන්නවද? මම හිතුවේ පොඩි මැණිකේ විතරයි කියලා...!" මම පුදුමයෙන් කීවෙමි. ලොකු මැණිකේ කිසිවක් නොකීවද මහ නිළමේ කට කොනින් සිනාවක් පෑවේය. පොඩි නිළමෙගේ රුව දැකීමේ අරමුණින් මම කෑම කාමරයේ දොර දෙස නෙත් හෙලා බලා සිටියෙමි. එවිටම ඔහු තිර රදි අතරින් මතු විය.
ඒ මම දහවලදී දුටු රුවයි. ඒ ඔහුය! කොටු සරමක් හැඳ ඇඟට වඩා ලොකු පැරණි තාලයේ සිංහල කමිසයකින් සැරසී සිටි ඔහු අතේ පොතක් විය. දිලිසෙන රත්‍රන් පැහැ කෙස් ඇවිස්සී තිබූ අතර දෙතොල් රෝස පැහැයෙන් දිස්විය. ඔහුගේ කිරි පැහැ සම ලාම්පු හා ඉටිපන්දම් එළියේ තවත් සුදු පැහැවී පෙනුනේ හොල්මනක සිරි මවමිනි! මා දුටු හැටියේම ඔහු හිටි තැන නතරවිය! ඔහුගේ දෑස් අළු පැහැය හා මිශ්‍ර වූ නිල් පැහැති බව මම දුටුවේ එවිටය! මේ ග්‍රීක පෙනුමැති පැටවා සිංහල වලවුවකට කොහෙන් පාත් උනාද??! ඔහුට වයස දහ අටක් හෝ දහ නවයක් විය යුතුය. නාඹර තරුණ ගති මනාව දිස් සුවත් බළලෙකුගේ වැනි සුන්දර සුන්ම්‍ය සිරුරක්ද, දිවියෙකුගේ වැනි ආඩම්බරකාර ගමන් විලාසයක් ද ඔහුගේ විය. වහාම මගෙන් දෑස් ඉවත් කල ඔහු උගුර පාදා ඔහුට හිමි අසුනේ වාඩි විය. තම අක්කාගේ ඔසරි පොටෙන් ඇද ඇගේ අවධානය ලබාගත් ඔහු ඇගේ කනට කර යමක් විමසීය. ඇය එයට පිළිතුරු දුන් පසු ඔහු කුතුහලය පිරි බැල්මෙන් මා දෙස බලා යලිත් තම දෑස් කෑම පිඟාන වෙත යොමු කර ගත්තේය.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...