"තව දුරද?" මම ඇසුවේ ඉහත්තාවට පැමිණි පසු බයිසිකලෙන් මම පැමිනි දුරම ගමන මෙය වූ නිසාය.
"තව ටිකයි." පොඩි නිළමේ කීවේ මගේ හති දැමීම කිසිම ගනනකට නොගෙනයි.
කෙටියෙන්ම කියන්නේ නම් අද සඳුදා හවසයි. පොඩි නිළමෙ සමඟ මම මේ යන්නේ මා නොදන්නා කෙනෙකුන් මුන ගැසීමටයි. මා සිතුවේ මේ ගමනටද අපිට කරත්තය වත් ලැබේවි කියාය. නමුත් පොඩි නිළමේ කෙලිලොල් සිනහවක් සමග කීවේ මේ අමුත්තා වෙසෙන්නේ කරත්තයෙන් යන්න තරම් දුරක නොවන බවයි. ඒ නිසා ඔහු ඔහුගේ බයිසිකලය ගත් අතර මම 'බං අක්කා' මට තියාගන්න දුන් මගේ බයිසිකලය ගත්තෙමි. උක්කුං අපට උඳු වැල් සාදා දුන් අතර මුල් කොටස වලවුවේදීම රස්නේ පිටින් කෑ අපි කොටසක් ඔතාගත්තේ අපි හමුවීමට යන අමුත්තාට දීමටයි.
එතරම් දුරක නොවේ කීවත් මේ වන විටත් පැය භාගයක පමන සිට අපි බයිසිකලෙන් පදින්නට වීමු. මගේ සර්වාංගයම දහදියෙන් තෙත් වී හති වැටෙන්නට වූ අතර මගේ පුදුමයට හේතු වෙමින් පොඩි නිළමේ නම් තවමත් පිබිඳුනු ප්රබෝධයෙන් බයිසිකලය පදින්නට වූයේ දහදිය කඳුලක් වත් නොහෙලමිනි.
"හම්බෝ මට නම් තවත් බෑ! ටිකක් ඉඳලා යමු කෝ.!" මම කීවේ අනුකම්පාව උපදවන සුලු හඬක් මගේ කටහඬේ තවරමිනි.
"රෑ කෑමට කලින් වලවුවට යන්න ඕනේ! ඉක්මනට ඉක්මනට!" ඔහු කීවේ කට කොනකින් නැගී එන සිනහව අමාරුවෙන් වලක්වා ගනිමින් තම බයිසිකලයේ වේගය වැඩි කරමිනි.
අහෝ දෙවියනේ මේ පොඩි ඇට්ටර කොළුවා මා මෙලෙසට වෙහෙසට පත් කරවා ලබන්නේ කුමන ආකාරයේ සතුටක් ද..!!
කෙසේ වෙතත් තවත් විනාඩි පහක පමන ගමනකින් පසු අප අවසානයේ අපේ ගමනාන්තයට ආවෙමු. එය අඹ ගස් වලින් සෙවන වූ සිනිදු සුදු වැල්ලෙන් හැඩවූ මිදුලක් ඇති, පැරණි සිංහල ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනා තිබූ කුඩා ප්රමාණයේ නිවහනකි. අපි බයිසිකල් අඹ ගස් වලට හේත්තු කලෙමු. ඉන්පසු මමත් පොඩි නිළමේ අනුගමනය කරමින් නිවසේ පිල දෙසට ගමන් කලෙමි.
රතු සිමෙන්තියෙන් මැද තිබූ නිවසේ පිලේ තේක්ක හාන්සි පුටුවකට බරවී පොතක් කියවමින් සිටියේ වයස අවුරුදු හැට ඉක්මවූ බව පෙනෙන හිස වසා පැතිරී තිබූ සුදුම සුදු කෙස් කොට රැසකට හිමිකම් කී මහතෙකි. කොටු සරමක් හැඳ බෙල්ලේ ලේන්සුවක් ගැටගසා සිටියද ඔහු සිටියේ උඩුකය නිරුවතිනි. ඔහුගේ නාසය අග උපැස් යුගල රැඳී තිබුනේ ඔන්න වැටුනා මෙන්න වැටුනා ලෙසය! 'නීතිය හා සාමය', මම පොත හැඳින ගත්තෙමි. ඔහු බෙල්ල පාත් කර උපැස් යුගලට උඩින් අප දෙස බැලුවේ ඔහුගේ නිස්කලංක හැන්දෑව කඩාකප්පල් කිරීමට කඩාපාත්වූ මේ තරුණ කොළු ගැටවු දෙදෙනා හඳුනා ගැනීමේ පරම අදිටනෙනි. ඔහුගේ දෑස් පොඩි නිළමේව වහා හඳුනා ගත්තේ මුහුන පුරා ඉතාම ප්රසන්න සිනහවක් අන්ඳමිනි.
ESTÁS LEYENDO
අවසන් සඳ
De Todoජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...