ඉහත්තාවට පැමිණ සතියක් ඉක්මවූ දිනෙක ඉහත්තාවේදී මම දුටු පළමු වැස්ස කඩාහැලෙන්නට විය. මා පාසල නිම වී පොතක් කියවමින් ජනේලය ලග වාඩි වී වැස්ස නරඹමින් සිටියෙමි. ඉහත්තාවට වහින වැස්ස හිතට ගෙනාවේ නැවුම් බවකි.
කොළඹදී නම් වැස්ස යනු අමු වහකි. කාණු ඉතිරෙයි. සිමෙන්තියෙන් වැසුණු පොළව කළු පැහැ කුණු වතුරෙන් යටවෙයි. අහසම මූසල වෙයි. නහය පාරවන දුගඳ දසතම පැතිරෙයි. කුඩ යටට රිංගගන්නා මිනිස් රැළ ඔවුන්ගේ ඒකාකාරී ජීවිතයට වැස්ස බාධාවක් නොකරගෙන ඔහේ ගාටයි...
නමුත් මෙහිදී සියල්ලම ප්‍රියංකර වීය. නිල් පැහැ අහස ලා අළු පැහැ ගැන්වෙයි. සීතල දිය බිඳු වලාකුළු මුදා හරින්නේ ලයාන්විත තාලයකටය. පොළෝ මට්ටමට ආ පසු එම සිසිල් වැහි බිඳු වියළි පොළව ආදරයෙන් උරාගන්නේ පිපාසිත ළඳරුවෙක් මවුකිරි උරාබොන්නාක් වැනි උද්‍යෝගයකිනි. පොළවෙන් නැගෙන්නේ නැවුම් සුවදකි. මේ මිහිරි හැඟීම් ඉහත්තාවේ මා ගතකළ පළමු සතිය යලි සිහි කිරීමට මා පෙළඹවීය.
බණ්ඩාර වලවුවේදීත් පාසලේදීත් මගේ ජීවිතර ඉතාම නිස්කලංක හා ආස්වාදජනක වීය. ළමෝ ඉතා හොඳින් මට සහය දුනි. මගේ පංතියේ ළමයින් මට ගරුසරු ඇතිව ආදරයෙන් සලකති.
වලවුවේදී ගෙවෙන්නේ සුන්දර කාලයකි. වලවුවට ගොඩවන සැනින් උක්කුං මට වතුර උණුකර දෙයි. හොඳින් නා පිරිසිදු වන මට ඊළඟට හමුවන වලවුවාසියා පොඩි මැණිකේය. ඈ දැං පුරුද්දක් වශයෙන් තේ පෝච්චියද රැගෙන මගේ කාමරය පැමිනෙයි. පැමින ලෝකය ගැන මගෙන් නානාප්‍රකාරයේ ප්‍රශ්න අසමින් මගෙන් දැනුම උරාගනී. ඇගෙ සමාගම මට වෙහෙසකර නොවූ හෙයින් මා ඇයට මට හැකි උපරිමයෙන් පිළිතුරු දෙමි.
මීලගට මා කරන්නේ සවස තේ වෙලාව වෙනතුරු මහ නිළමේගේ පොත් සාගරයෙන් ප්‍රවේසමෙන් එළියට ඇදගත් පොතක් කියවීමයි. ඉන්පසු මා කරන්නේ රෑ කෑම වෙලාව වන තුරු පාසලේ කලයුතු වැඩ හා සැලසුම් කිරීමයි. රෑකෑමෙන් පසු මා කෙලින්ම නින්දට යයි. මේ ජීවිතය ඇබ්බැහිවෙනසුලු වීය. ඉතාම අගනා මෙන්ම නිහඬ නිස්කලංක ජීවිතයකි.
මහ වලවුවේ ගෙවුනු මගේ ජීවිතයේ සැහැල්ලුභාවයට මද හෝ බාධාවක් උනේ පොඩි නිළමේගෙනි. මගේ මතයට අනුව නම් ඔහු ගුප්ත ජීවියෙකි. ඔහු ගෙවන්නේ ඕනේවට වඩා සරළ ජීවිතයකි. වලවුවේ කිසිවෙක් ඔහු ගැන කතා නොකරයි. ඔහුගේ මේ නොගැලපෙන අලංකාර රූ සපුව පිටිපස සැඟවී ඇති කිනම්හෝ අභිරහසක් ඇත. එය සැවොම දන්නා එහෙත් හෙළි කිරීමට තහනම් පොදු රහසක් වැන්න.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...