"මල්ලී, මදි නම් මගෙ බත් එකෙන් ගන්ඩෑ" පොඩි මැණිකේ පරිත්‍යාගශීලී ලෙස කීවාය.
ලොව අඩුවෙන්ම කතා කරන පුද්ගලයා ලෙස පවා නම්කළ හැකි පොඩි නිළමේ, පොඩි මැණිකේට පිලිතුරක් නොදී අත වැනීමකින් පමනක් ඇගේ පිරිනැමීම ප්‍රතික්ෂේප කලේය.
පෝය අහලක පහලක වත් නැති බව කියමින් නියපොත්තක් වැනි සඳක් අහසේ දිලෙමින් තිබූ අතර දින තුනකින් වර්ශාවක් ඇදනොහැලුණු නිසා විල් ජලය මද උණුසුම් බවකින් යුක්ත විය. ලා කොළ පැහැ තණතිල්ලේ මේස රෙදි දෙකක් එලා ඒ මත වාඩි වී අපි රාත්‍රී ආහාරය ගනිමින් සිටියෙමු.
මිහිරිලාගේ නිවස කටුමැටි හා බිමට ගොම අතුරා පොල් අතු සෙවිලි කිරීමෙන් සාදා තිබූ කොළඹ මා ජීවත් වූ ප්‍රදේශයේ නම් කිසිතැනක දක්නට නැති ආකාරයේ නිවසකි. එය තුල ස්වයංක්‍රීය වායුසමීකරණයක් ඇත්තාක් සේ මහා දහවලදී පවා වූයේ ඉතාම සිසිල් සුවදායී බවකි.
මිහිරිගේ මව කරුණාවේ උල්පත බඳු විය. ඉනෙන් පහල කොටස පණ නැති වීමෙන් ඔත්පළව ඇදේ සිටින ඈ මේ ලොව මා දැක ඇති ඉතාම ලක්ෂණ කාන්තාවන් අතරින් කෙනෙකි. අපේ පැමිණීම දුටු ඈ දෑසේ පිරි කඳුළින් හඬා වැටෙන්නට වූ අතර මාගේ දෑතින්ම අල්ලාගෙන ඒවා සිඹින්නට වූයේ මාගේ අවසන් කටයුතු වලදී පවා බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ මා ගැන සාරවත් ගුණ කථනයක් කරමිනි.
මිහිරිගේ පොඩි නංගිලා දෙදෙනා මිහිරිගේම කපාපු පළු මෙන් වීය. මිහිරිගේ දක්නට ලැබෙන කරුණාබර ලැජ්ජාශීලී සිනහව එම නිවසේ සියල්ලටම එකසේ පිහිටා තිබූ අතර ඔවුන් සියල්ලෝම එකසේ ආගන්තුක සත්කාරයේ ප්‍රිය වූහ. අපේ පැමිණීම සැලවූ සඳකැන් සිය පියාද සමඟ එහි පැමිණි අතර එම නිවසේ ගෙවූ කාලය ඉතාම ප්‍රියජනක වීය.
නමුත් රෑබෝවීමට පෙර වලවුවට යා යුතු යැයි ඔවුන්ට සාර්ථකව ඇඟවූ අප සවස් කාලයට පෙර පිටත් වී ආවේ පොඩි නිළමේ කෙසේ වෙතත් වලවුවේ මැණිකේ කෙනෙක් රාත්‍රියේ වලවුවෙන් පිට රැයක් ගත කලා යැයි ඕපාදූප ගම පුරා පැතිරවීම අයුතු බැවිනි. එම නිසා ගුණේගෙන් ඉලාගෙන ආ එතරම් සැප පහසු නොවූ කරත්තයේ නැගී අපි ඉහත්තාව විලට ආවෙමු.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...