මගේ පුදුමයට හේතු වෙමින් මෙවර ඔවුන් පොඩි නිළමේ පමනක් නොව පොඩි මැණිකේ වත් මා භාරයේ තබා ගියේ ය. මහ නිළමේ පවසා සිටියේ දැං උඩගෙදර වලවුවේ තනි අයිතිය පොඩි මැණිකේ සතු නිසා මුල් අයිතිකරුවෝ මළ විගස නව අයිතිකරුවන් දේපළ වලට පය ගැසීම නොහොඹිනා බැවින් පොඩි මැණිකේ ද වලවුවේ නැවතිය යුතු බවය. ඔවුන් දින කිහිපයක් යනතෙක් යලි නොපැමිනේවි යැයි මට කීවේ උක්කුං ය.
වැඩිමල් පරපුරෙන් ඈත්ව වලවුවේ බාල පරපුර සමඟ වාසය බොහෝ විනෝදජනක වීය. මාව කුස්සියේ වාඩි කරවගන්නා ඔවුන් දෙපළ එකට එක්ව තෙල් බේරෙන රසබර ආහාර සාදයි. නීති උල්ලංඝනය කරමින් වෙනදා තේ වේලාවට හරියටම තේ සාදාගන්නා ඔවුන් වලවුවේ වැඩිමහල්ලන් මෙන් පිලේ වාඩි වී මා සමඟ තේ බොයි. පොඩි මැණිකේ නිතරම සිනාමුසු මුහුනින් සිටියත් ඇගේ හදවතේ තෙරපෙන බියත් අකමැත්තත් ඈ දෙස සූක්ෂමව බැලූ විට පෙනෙන්නට වීය.
රෑ කෑම වාඩාත් උද්යෝගී වීය. රෑ කෑමට බත් ඉවීම නතර කළ පොඩි මැණිකේ ගමේ තවත් කාන්තාවක් ගෙන්නාගෙන රෑට පිට්ටු, ඉඳිආප්ප, ආප්පා, වණ්ඩු ආදී නානාප්රකාරයේ රසවත් ආහාර සාදන්නට වීය.
රෑට පොඩි මැණිකේ ඇගේ කාමරයේ නිදාගන්නා අතර පොඩි නිළමේ සුපුරුදු පරිදි මා සමඟ මගේ කාමරයේ නිදාගනී. ඔහු ඉතාම සතුටින් අප හා එක්ව කාලය ගෙවන්නට වූ අතර නිතරම මා බැලීමට වලවුවට එන ගුණේ සමඟ කුඩා ප්රමාණයේ මිත්රත්වයක් ඇතිකරගෙන තිබුනි. ගුණේ, පොඩි නිළමේ පිලේ හාන්සි පුටුවේ වාඩි වී සිටින අවස්තාවක් දකින විට දුවගෙන ගොස් ඔහු අසලින් බිම ඉඳගනී. ඉන්පසු පොඩි නිළමේට කළකිරී ඔහු නැගිට යන තෙක්ම ඔහුගෙන් විවිධ භාශා වල පොත් පිලිබද ප්රශ්න අසයි. පොඩි නිළමේද ඔහුට හැකි අයුරින් ගුණේට තේරුම් යන ආකාරයට ඒවා පහදා දෙයි.
මා හා පොඩි නිළමේ අතර තිබූ සබැඳියාව ළඟකදී සිට වෙනස්ම මුහුණුවරක් ගෙන තිබුනි. ඔහු මා හා නිතරම පාහේ කාලය ගත කරන්නට වූ අතර, මා ඔහුගේ ස්පර්ශයෙන් කෙරේ වැඩි වැඩියෙන් ඇලුම් කරන්නට වීය.
මහ නිළමේ හා ලොකු මැණිකේ නුවර ගොස් දෙවන දින, එනම් ඉරිදා සවස පොඩි නිළමේ ධර්මසේන මහතාගෙන් ගෙනා පොත් යලි බාරදිය යුතු යැයි කියා මා හා පොඩි මැණිකේ වලවුවේ තනිකරමින් බයිසිකලෙන් ධර්මසේන මහතාගේ නිවෙස බලා ගියේ ය. මා සුපුරුදු පරිදි මගේ කාමරයට වී පාසලේ ළමයින්ට මගහැරුනු පාඩම් සඳහා පැවරුම් සාදමින් සිටියෙමි. වලවුවම නිහඬතාවයේ ගිලී තිබුනි.
පොඩි නිළමේ නැති පාලුව කොතරම් තදයැයි මට වැටහුනේ එවිටය. ඔහුගේ සිහින් රුව හා රවාගත් මුහුන මගේ එදිනෙදා පැවැත්මට මෙතරම් බලපෑමක් වී ඇතැයි මා කොහෙත්ම බලාපොරොත්තු නොවුනෙමි. දැං දැං මගේ හිතේ ඔහු ගැන ඇති හැඟීම් මා බියට පත් කරන්නට වීය. එය දැනටමත් සහෝදරත්වය හා මිත්රත්වය පසු කර ගොස් ඇති බව මට සහතික ය. මා කොළඹින් පැමිනි කාත් කවුරුත් නැති නිකම්ම නිකං ගුරුවරයෙකි. ඔහු ඉහල වලවුවක ඉපදුනු අනාගතයේ ගමක භාරකාරත්වය දැරීමට ඉරණම් වූ අයෙකි. මෙය කොහෙත්ම සුදුසු නැත.
අනෙක් අතට බොහෝම පැහැදිලි කරුණ නම්, ඔහු තරුණයෙකි! මෙය කොහෙත්ම සාම්ප්රදායික නොවන අතර ස්වභාවික ද නොවීය. මගේ හදගැස්ම වේගවත් වනු දැනුනි. මා ලියමින් සිටි අකුරු සියල්ල බොඳ වී පෙනෙන්නට වූ අතර පාදයේ වේදනාව වඩවඩාත් දැනෙන්නට වීය.
"පොඩි මැණිකේ එක්ක කයියක් ගහන්න වත් යන්න ඕනේ"
මා මටම මුමුනා ගනිමින් මේසයට හේත්තු කොට තිබූ උක්කුං විසින් සාදා දුන් කිහිලිකරුව දෑතට ගත්තෙමි. පොඩි මැණිකේ රෑ කෑම සාදමින් කුස්සියේ විය යුතුය. මා මගේ කාමරයෙන් එලියට පැමින කොරිඩෝව දිගේ කෑම කාමරය දෙසට ගියේ ඒ හරහා කුස්සියට යාම වඩාත් පහසු බැවිනි. මා කෑම කාමරයට ලං වන විට මා පුදුමයට පත් කරමින් මට ඒ තුලින් කිසිවෙකු තදින් හුස්ම ගන්නා හඬ ඇසුනි. ඒ කොහෙත්ම කාන්තාවකගේ හඬක් නොවීය. ඒ තරුණයෙකි. මගේ මොළයට මුලින්ම ආ අදහස නම් පොඩි මැණිකේ කරදරයක බවයි. නැතිනම් මේ සොරෙකු විය යුතුය.
මා පත්ව සිටින ආබාධිත තත්වය නිසා මට සොරෙකු හා සටන් කිරීමට හැකිවේදැයි මා මගෙන්ම ප්රශ්න කරගත්තෙමි. නමුත් එසේ කියා පොඩි මැණිකේට හෝ වලවුවට හානියක් වන තුරු මා හට මෙසේ සිටගෙන සිටීමටත් නොහැක! ඒත් සමඟම මා නෙත ගැටුනේ මට මදක් එහායින් කොරිඩෝවේ අලංකාරයට තබා තිබූ රවුම් මේසය මත වූ කුඩා පිත්තල මල් පෝච්චියයි. මල් ටික මේසය මත තැබූ මම කිසිඳු ශබ්දයක් නොකිරීමට වගබලා ගනිමින් වම් කිහිලිකරුව මේසයට හේත්තු කොට මල් පොච්චිය වම් අතට ගත්තෙමි. ඉන්පසුව කෙසේහෝ කොරගසමින් මම එක්වරම කෑම කාමරයට ඇතුලු උනෙමි.
එහි වූයේ මා කිසිසේත්ම දකින්නට බලාපොරොත්තු නොවූ දසුනකි!
VOUS LISEZ
අවසන් සඳ
Aléatoireජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...